Ada Supuwatha - අද සුපුවත-අළු බදාදා දිනය-පෙබ 14- දිව්‍ය පූජාවේ සියලුම කියවීම්



පළමු කියවීම /ජෝවෙල් 2:12-18

12 සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක:
''උපවාසයෙන් ද වැලපීමෙන් ද මුළු සිතින් දැන් වත් මා වෙත හැරී එන්න.
13 වත ඉරාගෙන නොව, සිත ඉරාගෙන, නුඹේ දෙවි සමිඳුන් වෙත හැරී එන්න.
මන්ද, එතුමාණෝ, කරුණාභරිත, දයාන්විත, වහා නොකිපෙන, තිර පෙමින් සමන්විත, කමා වීමට කැමැති දෙවි කෙනෙකි.
14 සමහර විට එතුමාණන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශීර්වාද කිරීම නිසා,
ආහාර පූජා ද පානීය පූජා ද ඔබේ දෙවි සමිඳුන්ට ඔප්පු කරන්නට හැකි වනු ඇද්දැ යි කවරෙක් දනිත් ද?
15 සියොන් කන්දේ හොරණෑව පිඹින්න;
උපවාසයක් පණවා, අයැදුමට සෙනඟ රැස් කරන්න.
16 සෙනඟ එක්රැස් කරන්න;
ශුද්ධ සභාවට ඔවුන් සූදානම් කරන්න.
ප්‍රජා මූලිකයන් එකතු කරන්න;
ළමයින් ද කිරි දරුවන් ද ගෙන එන්න;
මනාලයා තම යහන් ගබඩාවෙන් ද මනාලිය තම නිදන කුටියෙන් ද පිටත එත් වා!
17 ද්වාර මණ්ඩපය හා පූජාසනය අතර සිටින සමිඳුන්ගේ සේවක පූජකයෝ හඬා වැලපෙමින්,
'සමිඳුනි, ඔබේ සෙනඟට අනුකම්පා කළ මැනව,
ඔබේ දෙවියෝ කොයි දැ යි ජාතීන් අතරේ කීමට ඉඩ නොහැරිය මැනවැ'යි කියත් වා!''

 එවිට සමිඳාණන් වහන්සේ දේශය ගැන උද්‍යෝගවත් වී සෙනඟට අනුකම්පා කළ සේක. 19 උන් වහන්සේ ඔවුන්ට මෙසේ පිළිතුරු දුන් සේක.
''මෙන්න, නුඹලා තෘප්තියට පැමිණෙන පිණිස ධාන්‍ය ද මිදියුස ද තෙල් ද මම නුඹලාට දෙමි.
මින්පසු නුඹලාට නින්දා කිරීමට විජාතීන්ට ඉඩ නොදෙමි. 


 පිළිතුරු ගීය : දෙවිදුනි ,ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කල මැනව 

1 දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව;
ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව.
2 මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදාලුව මැනව;
මාගේ පාප මලින් මා පිවිතුරු කළ මැනව.
3 මාගේ අපරාධ මම මැනැවින් දනිමි.
දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ.
4 ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි;
ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි.
එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය;
ඔබේ විනිශ්චය යුක්ති සහගත ය. 

10 දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව;
තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව.
11 ඔබ හමුයෙන් මා පලවා නොහැරිය මැනව;
ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මැනව.
12 විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව;
අවනත සිතක් දී මා දැරුව මැනව.
13 එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි;
පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි. 

15 සමිඳුනි, ගී ගැයුමේ වරම මට දුන මැනව.
එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි. 

දෙවන කියවීම /2 කොරින්ති 5:20-6:2

20 දෙවියන් වහන්සේ ම අප මඟින් ඔබ හට ආයාචනා කරන්නාක් මෙන්, අපි ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී, දෙවියන් වහන්සේ හා සමඟි වන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු. 21 දෙවියන් වහන්සේ, පාපය නොදත් ක්‍රිස්තුන් වහන්සේ, අප උදෙසා මනුෂ්‍ය පාපී බව හා සම වීමට සැලැසූ සේක. එසේ කළේ ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අප පංගුකාර වනු පිණිස ය.

1 එබැවින් දේව සේවයේ පංගුකාරයන් වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපතේ නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු. 2 මන්ද,
   ''ප්‍රසාදජනක කාලයේ දී මම ඔබට සවන් දුනිමි, ගැළවීමේ දවසේ දී මම ඔබට පිහිට වුණෙමි''යි
දෙවියන් වහන්සේ වදාරන සේක. මෙය ප්‍රසාදජනක කාලය යි. මෙය ගැළවීමේ දවස යි.

සුවිශේෂය /මතෙව් 6:1-6,16-18

1 ''මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත්, ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ ය.
2 ''එබැවින් ඔබ දන් දෙන කල, මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවල දීත්, වීථිවල දීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න. සැබැවින් ම, මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනට ම ලැබී ඇත. 3 එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා. 4 ඒ දන් දීම රහසක් ව තිබිය යුතු ය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.'' 

5 ''ඔබ යාච්ඤා කරන කල කෛරාටිකයන් කරන්නාක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔව්හු ධර්මශාලාවලත්, මංසන්ධිවලත් සිටගෙන යාච්ඤා කිරීමට ප්‍රිය වෙති. සැබැවින් ම මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය දැනට ම ඔවුන්ට ලැබී ඇත. 6 එහෙත්, ඔබ යාච්ඤා කරන කල ඔබේ ම ඇතුළු කාමරයට වැද, දොර වසාගෙන, අදෘශ්‍යමාන ව වසන ඔබේ පියාණන් වහන්සේට යාච්ඤා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක. 

7 ''තවද, යාච්ඤා කිරීමේ දී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වචන රාශිය නිසා, දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැ යි ඔව්හු සිතති. 8 ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේ දැ යි පියාණන් වහන්සේ දන්නා සේක.

Comments