Ada Supuwatha - අද සුපුවත -දෙසැ 2-සෙනසුරාදා - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්


පළමු කියවීම : දානියෙල් 7:15-27

15 දානියෙල් වන මාගේ සිත ශෝකාකූල විය; මාගේ හිසට නැඟුණ දර්ශනවලින් මම කැළඹුණෙමි. 16 මම එහි සිටි අයගෙන් එක් කෙනෙකු ළඟට එළඹ ඒ සියල්ලේ තේරුම මට කියන ලෙස ඔහුගෙන් ඉල්ලුවෙමි. ඔහු කතා කොට, ඒ සියල්ලේ තේරුම මෙසේ පහදා දුන්නේ ය: 17 ''දැවැන්ත මෘගයන් සතරදෙනා නම්, රජවරු සතරදෙනෙකි. ඔව්හු පොළොවෙන් නැඟී එන්නාහ. 18 එසේ වුව ද, මහෝත්තමයාණන්ගේ ශුද්ධවරයෝ රාජ්‍යය ලැබ සදාකාලයෙන් සදාකාලයට එය භුක්ති විඳින්නෝ ය. 

19 ඊළඟට සතර වන මෘගයා ගැන තතු දැනගන්නට මම කැමැති වීමි. ඒ මෘගයා නම්, සෙසු සියලු මෘගයන්ට වඩා වෙනස් වූ, ඉතාමත් භයානක වූ, යකඩ දත් සහ ලෝකඩ නිය ඇති, ගොදුර පොඩිකර කාදමා ඉතිරි දේ පයින් පාගාදැමූ මෘගයා ය. 20 එපමණක් නොව, මෘගයාගේ හිසේ තිබුණු අං දසය ගැන ද සියල්ලට වඩා මහත් ලෙස පෙනුණ අඟ, එනම්, හටගත් පසු අං තුනක් හෙළාදැමූ, ඇස් සහ උඩඟු ලෙස කතා කරන කටක් ඇති අඟ ගැන ද දැනගන්නට කැමැති වීමි. 

21 මා බලා සිටිය දී මේ අඟ සැදැහැවතුන්ට විරුද්ධ ව යුද්ධ කර ජයගත් බව මම දිටිමි. 22 එසේ වූයේ, පෞරාණිකයාණන් පැමිණ මහෝත්තමයාණන්ගේ ශුද්ධවරයන්ට යුක්තිය ඉටු කර දී ශුද්ධවරයන් රාජ්‍යය භුක්ති විඳින කාලය පැමිණෙන තුරු ය. 

23 මනුෂ්‍ය-පුත්‍රයාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: ''සතර වන මෘගයා නම්, සියලු රාජ්‍යවලට වෙනස් වූ, මුළු පොළොව නාස්ති කර පාගාදමා පොඩි කරන හතර වන රාජ්‍යයක් ය. 24 අං දසය නම්, මේ රාජ්‍යයෙන් පැන නඟින රජවරු දසදෙනෙකි. ඔවුන්ට පසු ව තවත් රජ කෙනෙක් නැඟිටින්නේ ය. ඔහු පළමු කී රජවරුන්ට වඩා වෙනස් වන්නේ ය. ඔහු රජවරුන් තුන්දෙනෙකු පහතට හෙළාදමන්නේ ය. 25 ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ය; මහෝත්තමයාණන්ගේ සැදැහැවතුන්ට පීඩා කරන්නේ ය. ඔහු කාලයන් ද ව්‍යවස්ථාව ද වෙනස් කරන්නට සිතන්නේ ය; සැදැහැවත්හු අවුරුදු තුනහමාරකට ඔහුගේ අතට භාරදෙනු ලබන්නෝ ය. 26 එහෙත්, අධිකරණ සභාව රැස් වී, ඔහු නැත්තට ම නැති වී යන පිණිස ඔහුගේ පාලනය ඔහු අතින් පැහැරගන්නී ය. 27 ඉන්පසු, අහස යට තිබෙන සියලු රාජ්‍යවල රජකම ද පාලනය ද මහන්තත්ත්වය ද මහෝත්තමයාණන්ගේ සැදැහැවතුන්ට දෙනු ඇත. ඔවුන්ගේ රාජ්‍යය සදාකාලික ය. සියලු පාලකයන් ඔවුන්ට සේවය කර කීකරු වනු ඇත.'' 


පිළිතුරු ගීය :සදා ස්තුතියත් මහිමයත් සමිදුන් හට වේවා 

60 මනුෂ්‍ය පුත්‍රයිනි, සමිඳුන් පසසන්න. 
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 
61 ඉශ්රායෙල්වරුනි, සමිඳුන් පසසන්න. 
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 


62 පූජකවරුනි, සමිඳුන් පසසන්න. 
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 
63 සමිඳුන්ගේ සේවකයිනි, සමිඳුන් පසසන්න. 
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 


64 අධ්‍යාත්මයෙනි, දැහැමියෙනි, සමිඳුන් පසසන්න. 
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 
65 බැතිමතුනි, බැහැපත් සිත් ඇත්තෙනි, සමිඳුන් පසසන්න. 
මහිමයත් සදා ස්තුතියත් එතුමන් හට පුදන්න. 



සුවිශේෂය :ලූක් 21:34-36

34 ''ඒ දවස මලපතක් මෙ‍න් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම්සැපෙන් ද බීමත්කමෙන් ද මේ ජීවිතයේ කරදරවලින් ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න. 35 මන්ද, එය මුළු පොළොවෙහි සකල ලෝක වාසීන් පිට පැමිණෙන්නේ ය. 36 එබැවින් ඒ සිදුවන ආපදා සියල්ලෙන් ජයාන්විත ව ගැළවෙන පිණිස ද මනුෂ්‍ය-පුත්‍රයාණන් ඉදිරියෙහි පෙනී සිටින පිණිස ද අයැදිමින්, හැම වේලේ ම අවදි ව සිටින්න.'' 

Comments