Ada Supuwatha - අද සුපුවත - නොවැ 25 ,සෙනසුරාදා - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්

පලමු කියවීම /1 මකබි 6:1-13

1 මේ අතරතුරේ දී ඇන්ටිඕකස් රජ උතුරු පළාත් ඔස්සේ යමින් සිටියේ ය. තවද, පර්සියාවේ එලිමයිස් නම් නගරයක් ගැන ඔහුට අසන්නට ලැබිණ. මේ නගරය එහි වූ ධන සම්පත් හා රන් රිදී නිසා ද 2 ග්‍රීක් ජාතිකයන් පළමුවෙන් ම පාලනය කළ ග්‍රීසියේ රජු වන පිලිප්ගේ පුත් ඇලෙක්සන්දර්, රන් යුද ඇඳුම්, ළය වැසුම් සහ වෙනත් අවි ආයුධ තැන්පත් කළ ඉතා ඉසුරුමත් දේවාලය නිසා ද මහත් කීර්තියක් ඉසිලී ය.

 3 එබැවින් ඔහු ගොස් ඒ නගරය අල්ලාගෙන එය කොල්ලකන්නට උත්සාහ කළ නමුත් එය සාර්ථක නො වී ය. මන්ද, එහි පුරවැසියන් ඔහුගේ සිතුම් පැතුම් දැනගෙන 4 ඔහුට විරුද්ධ ව තදින් ම සටන් කළ බැවිනි. එවිට ඔහු ආපසු හැරී කනගාටුවෙන් බබිලෝනියාව බලා ගියේ ය. 

5 එහෙත් ඔහු පර්සියාවේ සිටිය දී ම, ජුදා දේශය ආක්‍රමණය කළ හමුදාවක් පරාජය වූ බව ඔහුට සැළ විය. 6 විශේෂයෙන්, ලිසියස් ඉමහත් සේනාවක් සමඟ ඉදිරියට ගිය නමුත් ඔහුට ජුදෙව්වන් ඉදිරියෙන් බලෙන් ම ආපසු හැරී පලා යන්නට සිදු වූ බව ද ජුදෙව් හමුදාවන් විසින් කැබලි කරනු ලැබූ සේනාවලින් ලබාගත් යුද්ධායුධවලින් ද ආහාර පානාදියෙන් ද අධික කොල්ලයෙන් ද ඔවුන් වඩාත් බලසම්පන්න වී සිටින බව ද 7 ජෙරුසලමේ පූජාසනයට උඩින් තමා ඉදිකරවූ ''පිළිකුල් දූෂිතය'' ජුදෙව්වන් විසින් විනාශ කරනු ලැබූ බව ද ඊට කලින් තිබුණු පරිදි ශුද්ධස්ථානය උස් ප්‍රාකාරවලින් වට කොට, ඔහුගේ නගරයක් වූ බෙත්-ශූර් ශක්තිමත් කර තිබෙන බව ද ඔහුට සැළ විය.

 8 රජ තෙම මෙය ඇසූ විට මවිතයට පත් වී තදින් කම්පා විය. තමා බලාපොරොත්තු වූ අන්දමට කිසිවක් සිදු නොවූ නිසා, ඔහු යහන මත වැතිර දැඩි සිත් වේදනාවෙන් මලානික වී සිටියේ ය. 9 මෙලෙස ඔහු බොහෝ දින ගණනක් මලානික ගතියෙන් සිටින අතර නොයෙක් වර සිහිසන් නැති ව යන්නට ද වූයෙන් තමා මැරෙන්නට යන බව ඔහු තේරුම්ගත්තේ ය. 

10 එවිට ඔහු තම මිත්‍රයන් සියලු දෙනා කැඳවා, ඔවුන්ට කතා කොට, ''මාගේ දෙනෙතට නින්ද නැත. මම ද සිත් තැවුලෙන් බියට පත් වී සිටිමි. 11 මට ධන සම්පත් තිබුණු අවදියේ මම ඉතා ත්‍යාගශීලී ව ප්‍රේමය ලබා සිටියෙමි. එහෙත් දැන් ගංවතුරක් වැනි මහා කරදරයක මා වෙළී පැටලී ගිලී සිටීමට හේතුව කුමක් ද? මගෙන් ම මම ප්‍රශ්න කරගනිමි. 12 මා ජෙරුසලමේ දී එහි සියලු රන් රිදී භාජන පැහැර ගැනීමෙන් ද කිසි ම හේතුවක් නැති ව ජුදා දේශයේ වැසියන් සමුල ඝාතනයෙන් වනසාලීමට අණ කිරීමෙන් ද මා එහි දී කළ වැරදි මට දැන් සිහි වේ. 13 මට මේ සා මහත් කාලකණ්ණිකමක් පැමිණ තිබෙන්නේත්, විදේශීය රටක දී මා මලානික ගතියෙන් මරණාසන්න වී සිටින්නේත් මක්නිසා ද? ඊට හේතුව මට දැන් පැහැදිලි වී ඇතැ''යි කීවේ ය.


පිළිතුරු ගීය : සමිදුන්ගේ අසිරිමත් ක්‍රියා නිසා තුති පුදමු .

1 සමිඳුනි, හද පත්ලෙන් මම ඔබ හට තුති පුදමි; 
ඔබ කළ හැම අසිරිමත් ක්‍රියා පතුරා හරින්නෙමි; 
2 ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි; 
මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්‍රශස්ති ගීතයෙන් පසසන්නෙමි. 

3 ඔබේ ආගමනය නරඹා සතුරෝ පසු බැස යති; පැකිළ වැටෙති, වැනසෙති. 
5 ජාතීන්ට තරවටු කොට, අදමිටුවන් විනාශ කොට, ඔවුන්ගේ නම සදහට ම මකා හරින සේක.


15 විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති. 
එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති. 



18 දිළිඳා හැම දා අමතක නොවනු ඇත. 
පීඩිත අයගේ පැතුමත් සදහට ම යටපත් නොවනු ඇත. 



සුවිශේෂය /ලූක් 20:27-40

27 පුනරුජ්ජීවනයක් නැතැ යි කියන සද්දුසිවරුන්ගෙන් සමහරෙක් ජේසුස් වහන්සේ වෙත අවුත්, 

28 ''ගුරුදේවයෙනි, යම් මිනිසෙකු භාර්යාව ජීවත් ව සිටිය දී දරුපල නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා ඒ භාර්යාව පාවාගෙන, තම සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු යයි මෝසෙස් ලියා ඇත. 29 ඉදින්, සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ.

පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නොලබා මළේ ය. 30 දෙවැන්නාත් තුන්වැන්නාත් ඇය පාවා ගත්හ. 31 සත් දෙන ම එසේ දරුපල නොලබා මළෝ ය. 32 පසුව ඒ ස්ත්‍රියත් මළා ය. 33 සත් දෙනාම ඈ පාවාගත් බැවින්, පුනරුජ්ජීවනයේ දී ඈ ඔවුන්ගෙන් කවරකුගේ භාර්යාව වන්නී දැ''යි ඇසූ හ.

 34 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ''මේ යුගයට අයත් වූවෝ ආවාහ විවාහ වන්නාහු ය; 35 එහෙත් එන යුගයට හා පුනරුජ්ජීවනයට පැමිණීමට වරම් ලත් අය ආවාහ වන්නේ වත් විවාහ වන්නේ වත් නැත. 36 ඉන්පසු ඔවුන්ට මරණයක් නැත. ඔව්හු දේව දූතයන්ට සම වෙති. පුනරුජ්ජීවන වරය ලත් බැවින් ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය. 

37 'සමිඳාණන් වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය, ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය, ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය'යි කීමෙ‍න් මෝසෙස් පවා, පුනරුජ්ජීවනයක් ඇති බව පඳුර පිළිබඳ පාඨයෙහි පෙන්වා දී ඇත. 38 උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව, ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය. මන්ද, උන් වහන්සේ උදෙසා සියල්ලෝ ම ජීවත් වෙති''යි වදාළ සේක. 

39 එවිට විනයධරයන්ගෙන් සමහරෙක් උත්තර දෙමින්, ''ගුරුදේවයෙනි, ඔබේ කතාව කදිම ය''යි කී හ. 40 උන් වහන්සේගෙන් තවත් කිසි ප්‍රශ්නයක් ඇසීමට ඔවුන්ට ධෛර්ය නොතිබිණි.


Comments