Ada Supuwatha -අද සුපුවත -නොවැ 23,බ්‍රහස්පතින්දා - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්


පළමුවන කියවීම /1 මකබි 2:15-29

15 ආගම ප්‍රතික්ෂේප කරවීමේ නීතිය ක්‍රියාත්මක කළ රාජකීය නිලධාරීහු මොදෙයින් නගරයේ වැසියන් ලවා පූජා ඔප්පු කරවනු පිණිස එහි පැමිණියහ. 16 බොහෝ ඉශ්රායෙල්වරුන් ඔවුන් වටේට රැස් වූ නමුත්, මතතියස් ද ඔහුගේ පුත්‍රයෝ ද ඈත් වී සිටියහ. 

17 එවිට රාජකීය නිලධාරීහු මතතියස් අමතමින්, ''ඔබ සම්භාවනීය නායකයෙකි, මේ නගරයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ඔබට ආධාර දීමට පුත්‍රයෝ සහ සහෝදරයෝ සිටිත්. 18 සියලු ජාතීන් ද ජුදා දේශයේ නායකයන් ද ජෙරුසලමෙහි ඉතිරි ව සිටින අය ද කර තිබෙන පරිදි, ඉදිරියට පා තබා රාජ ආඥාවට එකඟ වීමට පළමුවැනියා වන්න. එවිට ඔබ ද ඔබේ පුත්‍රයන් ද රජතුමාගේ මිතුරන් අතරෙහි ගණන් ගැනෙනු ඇත. ඔබටත් ඔබේ පුත්‍රයන්ටත් රන් රිදී සහ බොහෝ තෑගිබෝග ලැබෙනු ඇතැ''යි කීවෝ ය. 

19 මතතියස් ද හඬ නඟා, එකටෙක කියමින්, ''රජතුමාගේ ආධිපත්‍යයේ වසන සැම ජාතියක් ම ඔහුගේ ආඥාවලට එකඟ වන පිණිස තම තමන්ගේ ආදි පියවරුන්ගේ ආගම ප්‍රතික්ෂේප කර එතුමන් හට කීකරු වුවත් 20 මාගේ පුත්‍රයෝ ද මාගේ සහෝදරයෝ ද මම ද අපේ ආදි පියවරුන්ගේ ගිවිසුම් අනුගමනය කරන්නෙමු. 21 අපේ ව්‍යවස්ථාවෙන් හා අණපණත්වලින් ඉවතට නොහැරෙන්නෙමු. 22 අපි රජතුමාගේ නීති අනුගමනය නොකරන්නෙමු. කෙලෙස වත් අපේ ආගමධර්මයෙන් නම් අපි පිට නොයන්නෙමු''යි කී ය. 

23 ඔහු කතා කොට අවසාන වූ විට, සියල්ලන් බලා සිටිය දී ම රාජ ආඥාව අනුව මොදෙයින්හි පූජාසනය පිට පුද පූජාවන් ඔප්පු කිරීම පිණිස ජුදා ජාතිකයෙක් ඉදිරියට පැමිණියේ ය. 24 මතතියස් මෙය දුටු විට ඔහු උද්‍යෝගයෙන් ඇවිළිණි; ඇට මිඳුළු දක්වා ඔහු සලිතවිණි. ඔහු තමාගේ සාධාරණ කෝපයට ඉඩ දෙමින් ඒ මිනිසා පිට කඩා පැන පූජාසනය මත ඔහු මරාදැමී ය; 25 එවිට ම ඔහුට පූජාව ඔප්පු කිරීමට බල කරමින් එහි සිටි රාජකීය නිලධාරියාත් මරාදමා පූජාසනය ද කඩා බිඳදැමී ය. 26 ව්‍යවස්ථාව පිළිබඳ උද්‍යෝගයෙන් සලුගේ පුත්, සිම්රිට විරුද්ධ ව පිනේහාස් කළාක් මෙන් ඔහු ක්‍රියා කෙළේ ය.

 27 ඉන්පසු මතතියස් ගමන් කරමින්, මහහඬින් හඬ නඟා, ''ව්‍යවස්ථාව සඳහා උද්‍යෝගය ඇති, ගිවිසුමට පක්ෂපාත වන සෑම කෙනෙක් ම පිටතට අවුත් මා පසුපස පැමිණෙත් වා''යි කෑගැසී ය. 28 මෙසේ කියා, තමාගේ ධන සම්පත් සියල්ල ම නගරයේ අත්හැරදමා ඔහු තම පුත්‍රයන් සමඟ කඳුකරයට පලා ගියේ ය.


පිළිතුරු ගීය :සමිදුන්ට කීකරුවන හැම දෙනම ,ගැලවීම ලබන්නෝය 

1 සව් බලැති දෙවි සමිඳාණෝ ශ්‍රී මුඛය විවෘත කර පෙරදිග පටන් අපර දිග දක්වා මුළු ලොවට කතා කරන සේක. 
2 අලංකාරයෙන් අගතැන් පත් සියොන්හි සිට, දෙවිඳාණෝ වැජඹෙන සේක. 

5 ''පුද පූජා ඇති ව මා සමඟ ගිවිසුමක් කළ මාගේ සැදැහැවතුන් මා වෙත රැස් කරන්නැ''යි එතුමාණෝ වදාළ සේක. 
6 දෙවිඳාණන් දැහැමි බව ද දෙවිඳාණන් විනිසකරුවන් බව ද අහස් මඬල ලොවට දන්වයි. 


14 දෙවියන්ට තුති දීම නුඹේ යාගය වේවා. 
සව් බලැති දෙවිඳුන්ට නුඹේ භාර ඉටු කරන්න. 
15 විපත්තියේ දී මට යාච්ඤා කරන්න; 
මම නුඹ මුදන්නෙමි. 
නුඹ මට ගෞරව කරනු ඇත.'' 



සුවිශේෂය /ලූක් 19:41-44

41 උන් වහන්සේ අගනුවරට ළඟා වී එය දුටු විට නුවර ගැන හඬමින් මෙ‍සේ වදාළ සේක: 

42 ''අහෝ, ඔබට ශාන්තිය සලසන දේ ගැන මේ උදාර දිනයේ දී වත් ඔබ දැන සිටියා නම්! එහෙත් එසේ නො වී ය, එය ඔබේ දෙනෙතින් සැඟවී ඇත. 43 ඔබේ සතුරන් බලකොටු තනා, ඔබ සිසාරා, සතර දිගින් ඔබ වටලන දවස් පැමිණෙන්නේ ය. 44 ඔව්හු ඔබ ද ඔබ තුළ සිටින දරු කැල ද පොළොවේ ගසා, ගලක් පිට ගලක් තිබෙන්ට ඉඩ නාරින්නෝ ය. මන්ද, දෙවියන් වහන්සේ ඔබ ගළවන්නට පැමිණි දවස ඔබ නොදත් හෙයිනි.''

Comments