Ada Supuwatha -අද සුපුවත -නොවැ 20,සඳුදා - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්


පළමු කියවීම /1 මකබි 1:10-15,41-43,54-57,62-64

10 මොවුන්ගෙන් ඇන්ටිඕකස් රජුගේ පුත් ඇන්ටිඕකස් එපිපානෙස් නමැති පාපිෂ්ට පුතා ඉපිද වැඩිණි. වරක් රො‍්මයේ සිරකරුවෙකු වශයෙන් සිටි ඔහු ග්‍රීක රාජධානියේ එක සිය තිස් හත් වන වර්ෂයේ දී රජ විය. 11 බොහෝ ජනයා මං මුළා කළ දාමරික කල්ලිය ඉශ්රායෙල්හි බිහි වූයේ ඒ කාලයේ දී ය. ඔව්හු කතා කොට, ''එන්න, අප වටේට සිටින විජාතීන්ගෙන් අප වෙන් වූ නිසා අපට බොහෝ දුර්භාග්‍ය පැමිණ තිබෙන බැවින් අපි ඔවුන් සමඟ සම්මුතියකට පැමිණෙමු''යි කී හ. 12 මේ යෝජනාව පිළිගත් එකක් වූ බැවින් 13 ජනයා අතරෙන් ගණනාවක් රජු වෙත උනන්දුවෙන් ගියහ. රජ ද විජාතීන්ගේ වත්පිළිවෙත් පැවැත්වීමට ඔවුන්ට අණ කළහ. 14 මෙලෙස ඔව්හු විජාතීන්ට තිබෙන්නාක් මෙන් ජෙරුසලමෙහි ක්‍රීඩා ශාලාවක් ගොඩනැඟුවහු ය. ඔව්හු අභක්තියට කැමැත්තෙන් සිටින වහලුන් මෙන් විජාතික පාලනයට යටත් වී 15 චර්මඡේදන පිළිවෙත් සඟවාගත්හ, ශුද්ධ ගිවිසුම අත්හළහ.


41 එකිනෙකා තම තමාගේ වත්පිළිවෙත් හැරදමා සියල්ලන් එක ම ජනතාවක් වන පිණිස රජ තෙම තමාගේ මුළු රාජධානියට ප්‍රකාශනයක් නිකුත් කෙළේ ය. 42 මිසදිටු සියල්ලෝ ම රාජකීය ආඥාවට එකඟ වූ හ. 43 ඉශ්රායෙල්වරු බොහෝ දෙනෙක් ද දේව පිළිමවලට පඬුරු පුදා සබත කෙලෙසා රජුගේ ආගම පිළිගැනීමට තෝරාගත්හ. 


54 එකසිය හතළිස් පස් වන අවුරුද්දේ කිස්ලෙව් මාසයේ පසළොස් වන දින රජ තෙම පූජාසනයට ඉහළින් ''බිහිසුණු දූෂිතය'' ඉදි කෙළේ ය. 55 තවද, ජුදා දේශය හාත්පස නගරවල ද පූජාසන ඉදි කරන ලදී. ගෙවල දොරකඩ සහ වීථිවල සුවඳ දුම් ඔප්පු කරන ලදී. 56 ලබාගත හැකි වූ හැම ව්‍යවස්ථා පොතක් ම ඉරන ලදුව පුළුස්සාදමන ලදී. 57 ගිවිසුම් පිටපතක් සතු ව තිබූ හො‍් ව්‍යවස්ථාව පිළිපදින හො‍් යමෙකු සොයාගත් විට රාජාඥාව පිට ඔහුට මරණය තීන්දු විය. 


62 එහෙත්, ඉශ්රායෙල් ජනයා අතර නොසැලී සිටිමින්, අපවිත්‍ර දේ කෑම ප්‍රතික්ෂේප කිරීමට ධෛර්යය තිබුණු බොහෝ දෙනෙක් ද වූ හ. 63 එවැනි ආහාරවලින් දූෂිත වීමටත්, ශුද්ධ ගිවිසුම කෙලෙසීමටත් වඩා ඔවුන් මරණය හොඳ යයි තෝරාගත් බැවින්, ඔව්හු මරනු ලැබූ හ. 64 ඉශ්රායෙල්වරුන් හට උදාවූයේ බියකරු උදහසකි!



පිළිතුරු ගීය :සමිදුනි ,මා පණ ගැන්වුව මැනව .මම  ඔබේ ශික්ෂා පිලිපදින්නෙමි


53 ඔබේ ව්‍යවස්ථාව අත්හරින අදමිටුවන් දකින විට මා තුළ කෝපාග්නිය ඇවිළී යයි. 
61 දුදනන් මට උගුලක් අටවා ඇත. 
එහෙත්, මම ඔබේ ව්‍යවස්ථාව අමතක නොකෙළෙමි. 


134 මිනිසුන්ගේ හිරිහැරවලින් මා මුදාලුව මැනව; 
එවිට ඔබේ නියෝග මම පිළිපදින්නෙමි. 

150 නපුරු අරමුණු ඇති ව මට පීඩා කරන දුදනෝ මට ළඟා වෙති. 
ඔව්හු ඔබේ ව්‍යවස්ථාවෙන් ඈත් ව සිටිති. 


155 දුදනන් හට ගැළවීමක් නැත; 
ඔව්හු ඔබේ පණත් නොසලකති. 

158 ද්‍රෝහිකම් කරන්නන් දැක මම ඔවුන් පිළිකුල් කෙළෙමි. 
ඔව්හු ඔබේ නියමයන් නොපිළිපදිති. 



සුවිශේෂය /ලූක් 18:35-43

35 ජේසුස් වහන්සේ ජෙරිකෝවට සමීප වූ කල, එක් අන්ධයෙක් සිඟමින් පාර අයිනේ ඉඳගෙන සිටියේ ය. 36 ජනකායක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී, ''ඒ කුමක් දැ''යි විමසී ය. 37 එවිට ඔව්හු නාසරෙත්හි ජේසුස් වහන්සේ ඒ ළඟින් යන බව ඔහුට කී හ. 38 ඔහු ද, ''ජේසුස් වහන්ස, දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ''යි මොරගැසී ය. 39 ඉදිරියෙන් ගිය අය නිශ්ශබ්ද වන ලෙස ඔහුට සැර කළහ. එහෙත් ඔහු ශබ්ද නඟා: ''දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ''යි වැඩි වැඩියෙන් මොරගැසී ය. 

40 ජේසුස් වහන්සේ නැවතී, ඔහු තමන් ළඟට ගෙනෙන්න අණ කළ සේක. ඔහු ළඟට ආ කල, 41 ''මා ඔබට කුමක් කර දෙනවාට කැමැත්තෙහි දැ''යි ඔහුගෙන් ඇසූ සේක. ''ස්වාමීනි මාගේ පෙනීම මට ලබා දුන මැනවැ''යි ඔහු කී ය. ජේසුස් වහන්සේ කතා කරමින්, 42 ''පෙනීම ලබන්න, ඔබේ ඇදහිල්ල ඔබ සුව කෙළේ ය''යි වදාළ සේක. 43 එකෙණෙහි ම ඔහු ඇස් පෙනීම ලබා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේ පසුපස්සේ ගියේ ය. මුළු ජනතාව තමන් දුටු දේ ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.


Comments