අද සුපුවත -අගෝස්තු 17,බ්‍රහස්පතින්දා


පළමු කියවීම /ජෝසුවා 3:7-11,13-17

7 සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ වදාළ සේක: ''මා මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් නුඹ සමඟ ද වැඩ සිටින බව සියලු ඉශ්රායෙල්වරුන් දැනගනු පිණිස ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි නුඹ උසස් කිරීමට ද අද දවසේ මම පටන් ගන්නෙමි. 8 නුඹ ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරුන්ට කතා කොට, 'ඔබ හැම ජොර්දාන් ගඟේ දිය අද්දරට පැමිණි විට එහි නැවතී සිටින්න' කියා අණ කරන්න.'' 
9 එවිට ජෝෂුවා ඉශ්රායෙල් ජනයා අමතමින්, ''මෙහි පැමිණ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ වදාළ දේට සවන් දෙන්නැ''යි කීවේ ය. 10 ඔහු තවදුරටත් මෙසේ කීවේ ය: ''ජීවමාන දෙවියන් වහන්සේ ඔබ අතර සිටින බවත්, උන් වහන්සේ නොඅනුමානව ම ඔබ ඉදිරියෙන් කානානිවරුන් සහ හිත්තීවරුන් ද හිවීවරුන් සහ පෙරිස්සිවරුන් ද ගිර්ගාෂිවරුන් සහ අමෝරිවරුන් ද ජෙබුසිවරුන් ද පන්නා දමන බවත් ඔබ මෙයින් දැනගන්නහු ය. 11 බලන්න, මුළු පොළොවට අධිපති වන සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔබ පෙරටුවෙන් ජොර්දාන් ගඟට වැඩම කරනු ඇත.
13 මුළු පොළොවට අධිපති වන සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරුන් ජොර්දාන් ගඟේ දියෙහි පා තැබූ කෙණෙහි ම ඉහළින් ගලා බසින ජලය නතර වී ගොඩගැහී සිටිනු ඇත.'' 
14 සෙනඟ ජොර්දාන් ගඟින් එතෙරට යන්නට තමන්ගේ කූඩාරම්වලින් නික්ම ගිය විට, ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරු සෙනඟට පෙරටුවෙන් ගියෝ ය. 15 ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟට පැමිණ දියෙහි පා තැබූ හ. අස්වැන්න නෙළන මුළු කාලය තුළ දී ජොර්දාන් ගඟේ දිය ඉවුරු තළා උතුරා යයි. 16 ඔවුන් පා තැබූ වහා ම ඉහළින් බැස එන දිය නැවතී, ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවර වන ආදාම් දක්වා ගොඩගැසුණේ ය. අරබා මිටියාවතෙහි පිහිටි ලුණු මුහුදට බැස යන දිය සම්පූර්ණයෙන් ම වෙන් වී ගියේ ය. සෙනඟ ජෙරිකෝවට මූණ ලා ගඟින් එතෙර වූ හ. 17 ජොර්දාන් ගඟෙන් එතෙර වනතෙක්, ඉශ්රායෙල්වරුන් සියලු දෙනා වියළි බිම පිට ගමන් කළ අතර සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟ මැද වියළි බිම පිට සිටගෙන සිටියෝ ය.

පිළිතුරු ගීය: ආලේලුයියා

1 ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ද 
ජාකොබ්ගේ පරපුර විදේශයකින් ද නික්ම ගියෝ ය. 
2 එවිට ජුදා දේශය සමිඳුන්ගේ ශුද්ධස්ථානය විය, ඉශ්රායෙල් දේශය එතුමන්ගේ රාජ්‍යය විය.

3 රතු මුහුද එය දැක පලා ගියා ය; 
ජොර්දාන් ගඟ ආපසු ගලා යෑම නැවතුණේ ය. 
4 කඳු, බැටළුවන් මෙන් ද කුඩා හෙල්, බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කෙළේ ය.

5 එම්බා රතු මුහුද! 
නුඹ පලා යන්නේත්, ජොර්දාන් ගඟ, නුඹේ ගැලීම නැවතුණේත් නුඹලාට කුමක් සිදු වූ නිසා ද?
6 එම්බා කඳු! 
නුඹලා බැටළුවන් මෙන් ද කුඩා හෙල්, නුඹලා බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කරන්නේ කුමක් නිසා ද? 

සුවිශේෂය /මතෙව් 18:21-19:1

21 එකල පේදුරු උන් වහන්සේ වෙතට අවුත්, ''ස්වාමීනි, මට විරුද්ධ ව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතු ද? සත් වාරයක් දක්වා දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය. 22 ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ''සත් වාරයක් නොව, සත් වාර සැත්තෑවකි. 
23 ''මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය: සිය දාසයන් සමඟ ගණන් හිලව් බැලීමට තීරණය කරගත් රජෙක් විය. 24 ඔහු එසේ කරන්න පටන්ගත් කල රුපියල් දෙකො‍්ටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දේ ය. 25 ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය. 26 එවිට ඒ දාසයා දණින් වැටී, 'මා ගැන ඉවසන්න, මුළු ණය ගෙවන්නෙමි'යි කී ය. 27 ඒ දාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරී, ඔහු ණයෙන් නිදහස් කොට කමාව දුන්නේ ය. 
28 එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, 'මගේ ණය ගෙවාපන්නැ'යි කී ය. 29 එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී, 'මා ගැන ඉවසන්න, ණය ගෙවන්නෙමි'යි කන්නලව් කරමින් කී ය. 30 එහෙත්, ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කෙළේ ය. 
31 ඔහුගේ සහකාර දාසයෝ සිදුවූ දේ දැක, අතිශයින් ශෝක වී, අවුත් සිදුවූ සියල්ල තම ස්වාමියාට දැන්වූ හ. 32 එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, 'දුෂ්ට දාසය, නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙළෙමි. 33 මා නුඹට අනුකම්පා කළාක් මෙන් ම, නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේ දැ'යි ඇසී ය. 34 ඔහුගේ ස්වාමියා කෝප ව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වධකයන්ට භාර දුන්නේ ය. 35 ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ද, එසේ ම ඔබටත් කමා නොකරනු ඇත.''1 තවද ජේසුස් වහන්සේ මේ වචන වදාරා නිම කොට, ගලීලයෙන් නික්ම ජොර්දානෙන් එගොඩ ජුදයේ පළාත්වලට පැමිණි සේක. 

Comments