දේව මාතාවන්ගේ ස්වර්ගාරෝපිත මංගල්‍යය - අගෝස්තු 15



පළමු කියවීම /එළිදරව්ව 11:19,12:1-6,10

19 එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේ ය. උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුළ පෙනුණේ ය. එවිට විදුලි කෙටීම් ද ශබ්ද ද ගිගුරුම් ද භූමිකම්පාවක් ද, මහ ගල් වර්ෂාවක් ද විය.1 තවද අහසෙහි පුදුම ලකුණක් විය. එනම්, සූර්යයා පැළඳගෙන, පාද යට සඳ මඬල ද හිස මත තාරකා දොළසකින් යුත් කිරුළක් ද ඇති ස්ත්‍රියකි. 2 ගැබ්ගෙන සිටි ඈ, විළිරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් කෑගැසුවා ය. 3 අහසෙහි තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක් ද අං දසයක් ද තමන් හිස් මත කිරුළු සතක් ද ඇති මහා රතු මකරෙකි. 4 ඌ උගේ වලිගයෙන් අහසේ තරුවලින් තුනෙන් කොටසක් ඇද, පොළවට හෙළී ය. උපන් කෙණෙහිම දරුවා කාදමන පිණිස, මකරා ප්‍රසව වේදනාවෙන් සිටි ස්ත්‍රිය ඉදිරියෙහි සූදානම් ව බලා සිටියේ ය. 5 ස්ත්‍රිය ඒ සියලු මනුෂ්‍ය ජාතීන් යගදාවකින් ආණ්ඩු කරන පිරිමි දරුවෙකු ප්‍රසූත කළා ය. ඇගේ දරුවා දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ සිංහාසනය වෙත ඇදගෙන යනු ලැබී ය. 6 ස්ත්‍රිය කාන්තාරයට පලා ගියා ය. එක් දහස් දෙසිය සැට දවසක් ඇය පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙළ කරන ලද ස්ථානයක් ඈට එහි විය. 10 ඉන්පසු ස්වර්ගයෙහි මෙසේ කියන මහ හඬක් මට ඇසිණි; එනම්, ''අපේ දෙවියන් වහන්සේගේ ගැළවීම ද බලය ද රාජ්‍යය ද ස්වකීය ක්‍රිස්තුන් වහන්සේගේ අධිපතිකම ද දැන් පැමිණ ඇත. මන්ද, අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවා රෑ දෙක්හි අපගේ සහෝදරයන්ට චෝදනා කරන පැමිණිලිකාරයා පහතට හෙළන ලදි. 



පිළිතුරු ගීය : දෙවි රජිදුනි ,ඔබේ අග රැජිණිය ,ඔබ සිහසුනේ දකුණු පස වැජඹේන්නිය 

9 ඔබේ කුලකතුන් අතර රජ කුමරියෝ ඇත. 
ඕපීර්හි රන් අබරණින් සැරසුණු ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පසින් වැජඹෙන්නී ය.

10 දියණියනි, මා වදනට සවන් දෙන්න; 
ඒවා සිතට ගන්න. 
ඔබේ ජාතිය, ඔබේ ගම රට සිතින් අමතක කරන්න.
11 එවිට නිරිඳු ඔබේ රූ සපුවට ප්‍රිය වනු ඇත; 
ඔහු ඔබේ ස්වාමියා ය, ඔහුට අවනත වන්න


14 මල්කම් හා ලියකම් කළ සළුවෙන් සැරසී, ඈ රජු වෙත එන්නී ය.
ඇගේ යෙහෙළියෝ ද රජු වෙත ගෙනෙනු ලබන්නෝ ය. 
15 සිත් සතොසින් ඇලළී ඔව්හු රජ මැදුරට පිවිසෙති. 


දෙවන කියවීම /1කොරින්ති 15:20-26

20 එහෙත් සැබැවින් ම ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක් ම ය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට aසහතිකය වේ. 21 මන්ද, එක මිනිසෙකු කරණකොටගෙන මරණය පැමිණියාක් මෙන් ම, එක මිනිසෙකු කරණකොටගෙන මළවුන්ගෙන් උත්ථානය ද පැමිණියේ ය. 22 ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ සියල්ලෝ ම ජීවනයට පමුණුවනු ලබන්නො‍් ය. 23 එසේ වන්නේ එක් එක්කෙනාට හිමි තැන අනුව ය. හැම දෙනාට ම පළමුවෙන් ක්‍රිස්තුන් වහන්සේ ය. ඉන්පසු ව, උන් වහන්සේගේ ආගමනයේ දී උන් වහන්සේ සන්තක අය ය. 24 පසුව අවසානය පැමිණේ. එවිට උන් වහන්සේ සියලු අධිපතිකම් ද බලය ද පරාක්‍රමය ද අභිබවා උන් වහන්සේගේ රාජ්‍යය දෙවි පියාණන් වහන්සේට භාර දෙන සේක. 25 මන්ද, දෙවියන් වහන්සේ සියලු සතුරන් උන් වහන්සේගේ පාද යට දමන තුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතු ම ය. 26 නැති කිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ. 


සුවිශේෂය /ලූක් 1:39-56

39 දින ගණනකට පසු මරිය තුමී නැඟිට ජුදා කඳුකරයෙහි නුවරකට යුහු ව ගොස්, 40 සෙකරියස්ගේ ගෙට ඇතුළු වී, එලිසබෙත් හට ආචාර කළා ය. 41 එලිසබෙත් මරිය තුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, 42 මහ හඬින් උදන් අනමින්, ''ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු ඵලය ද ආශීර්වාද ලද්දේ ය. 43 මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක් ද? 44 මක්නිසා ද ඔබේ ආචාර හඬ මා සවන් ගත වූ කෙණෙහි ම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේ ය. 45 සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේ ම යයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්ත ය''යි කීවා ය.

46 එවිට මරිය තුමී මෙ‍සේ උදන් ඇනුවා ය:
''මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි, 
47 මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි; 
48 මක්නිසා ද, එතුමාණෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළ සේක. 
හැම පරපුරක් ම මෙ‍තැන් සිට, භාග්‍යවන්තී ය'යි මට කියනු ඇත. 
49 පරාක්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක. 
'පරිශුද්ධයාණෝ' යනු එතුමන්ගේ නාමය ය. 
50 එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ, පරපුරෙන් පරපුරට පැතිරේ.
51 සිය බාහුවෙන් එතුමාණෝ විකුම් පා, උඩඟු උදම් සිතැත්තන් විසුරුවා හැර, 
52 මහ නරපතීන් සිය සිහසුන්වලින් පහත හෙළා, දීනයන් ඉහළ නංවා උසස් කළ සේක. 
53 සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක. 
54 අප පියවරුන් වූ, ආබ්‍රහම්ට හා එම පරපුරට, 
55 සදහට ම පොරොන්දු වූ දයාව සිහි කරමින් සිය සේවක ඉශ්රායෙල් සෙනඟ හට, පිහිට වූ සේක.'' 
56 මරිය තුමී, එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිට සිය නිවෙසට පෙරළා ගියා ය.


Comments