පළමු කියවීම /ක්‍රියා 20:17-27

•       17 ඔහු මිලේතසෙන් එපීසයට පණිවුඩ යවා, සභාවේ මූලිකයන් කැඳෙව්වේ ය. 18 ඔවුන් තමා වෙතට ආ කල ඔහු මෙසේ පැවසී ය, ''මා ආසියාවට පැමිණි පළමු වැනි දා පටන් මුළු කාලය ඔබ සමඟ ගත කළ සැටි ඔබ දන්නහු ය. 19 මම සියලු ආකාර යටහත්පහත්කමින් ද ශෝකයෙන් ද ජුදෙව්වරුන්ගේ උපායයන් නිසා පැමිණි දුෂ්කරතාවලින් ද යුක්ත ව සමිඳාණන් වහන්සේට සේවය කෙළෙමි. 20 ඔබට වැඩදායක වූ කිසිවක් කීමෙන් නොවැළකී, ප්‍රසිද්ධියේ ද ගෙයින් ගෙට යමින් ද ඔබට උගන්වමින්, 21 පසුතැවී සිත් හරවා ගැනීමෙන් දෙවියන් වහන්සේ වෙත හැරෙන ලෙසත්, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන ලෙසත් ජුදෙව්වරුන්ට හා අන්‍ය ජාතිකයන්ට ද තදින් අනුශාසනා කෙළෙමි. 22 දැන් ඉතින් ආත්මයාණන් විසින් බලපානා ලදුව, මම ජෙරුසලමට යමි; එහි දී මට කුමකින් කුමක් වේ දැ යි නොදනිමි. 23 එහෙත් සිරගත වීම් හා පීඩා ද මට පැමිණේ යයි, ශුද්ධාත්මයාණන් වහන්සේ සියලු නගරවල දී දැනුම් දුන් බව හැර අන් කිසිවක් නොදනිමි. 24 එහෙත් මාගේ ජීවිතය වැදගත් ය, නොහොත් මට ම අගේ ය කියා මම කිසිසේත් නොසලකමි. එහෙත් මාගේ පරමාර්ථය වූකලී දෙවියන් වහන්සේගේ කරුණාවේ සුබ අස්නට සාක්ෂි දීමෙන් ස්වාමීන් වන ජේසුස් වහන්සේගෙන් මට පැවරුණ දූත මෙහෙය සපුරා ලීම ය. 
25 ''මේ වන තෙක් මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ඔබ අතර ගැවසුණෙමි. දැන් ඉතින් මින්පසු ඔබගෙන් කිසිවෙකු මගේ මුහුණ තවත් නොදකින බව දනිමි. 26 එහෙයින් ඔබ අතරෙන් කිසිවෙකු විනාශයට පත් වුවහොත්, ඒ ගැන මා වගකිවයුත්තකු නොවන බව තරයේ ප්‍රකාශ කරමි. 27 මන්ද, දෙවියන් වහන්සේගේ මුළු අභිප්‍රාය නොවළහා ඔබට ප්‍රකාශ කෙළෙමි. 

Comments