සමිදුනි ඔබේ සාධාරණ ක්‍රියා මා මුවින් ප්‍රකාශ කරමි

පළමු කියවීම /යෙසායා 49:1-6

1 මුහුදුබඩ වැසියෙනි, මාගේ බස් අසන්න. ඈත සිටින ජනයෙනි, මට සවන් දෙන්න. 
මා උපදින්නත් පෙර මවුකුසෙහි සිටිය දී සමිඳාණෝ මා තෝරාගෙන එතුමන්ගේ සේවකයා වන පිණිස මා පත්කළ සේක. 
2 එතුමාණෝ මාගේ වචන තියුණු කඩුවක් මෙන් කළ සේක. 
සිය අතේ සෙවණැල්ලෙහි මා ආරක්ෂා කළ සේක. 
එතුමාණෝ මා මුවහත් කළ ඊගසක් මෙන් කළ සේක. 
සිය කොපුවේ මා සඟවා තැබූ සේක. 
3 එතුමාණෝ කතා කොට, ''ඉශ්රායෙල්, නුඹ මාගේ සේවකයා ය, නුඹ මඟින් සෙනඟ මාගේ මහිමය ප්‍රකාශ කරනු ඇතැ''යි වදාළ සේක.
4 මම කතා කරමින්, ''මම නිකරුණේ වෙහෙසුණෙමි; 
මාගේ මුළු ශක්තිය යෙදූ නමුත්, කිසිවක් අත්පත් කර නොගතිමි''යි කීවෙමි. 
එසේ වුව ද, මාගේ විනිශ්චයය සමිඳුන් අතේ ඇති බවත්, මාගේ විපාකය දෙවිඳුන් අතේ ඇති බවත් මට සහතික ය.
5 මා උපදින්නටත් පෙර තමන්ගේ සෙනඟ ආපසු ගෙනෙන පිණිසත්, විසිර සිටින ඉශ්රායෙල් ජනයා, ජාකොබ්ගේ වංශය එක් රැස් කරන පිණිසත් සේවකයෙකු වශයෙන් සමිඳාණෝ මා පත් කළ සේක. 
සමිඳාණෝ මට ගෞරවය දෙන සේක. 
එතුමාණෝ මාගේ ශක්තිය වන සේක. 
6 එතුමාණෝ මට මෙසේ වදාළ සේක: 
''ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් එනම්, ජාකොබ් වංශයේ ජනයා නැඟිටුවා පුනරුත්ථාපනය කිරීමට මාගේ සේවකයා ලෙස නුඹ පත් කිරීම සුළුපටු දෙයක් නොවනු ඇත.
එනම්, මුළු ලොව ගළවනු පිණිස සියලු ජාතීන් හට නුඹ ආලෝකයක් වන්න මම සලස්වන්නෙමි.






සුවිශේෂය /ජොහන් 13:21-33,36-38


21 ජේසුස් වහන්සේ මෙසේ පවසා, බොහෝ සේ කැළඹී, ''ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ අතරෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය''යි ප්‍රකාශ කළ සේක. 22 උන් වහන්සේ එසේ කීමෙන් කවරෙකු අදහස් කළ සේක් දැ යි වියවුල් වූ ශ්‍රාවකයෝ එකිනෙකා දෙස බැලූ හ. 23 ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතරෙන් උන් වහන්සේ ප්‍රේම කළ තැනැත්තා උන් වහන්සේගේ ළයට ළං ව හාන්සි වී සිටියේ ය. 24 එබැවින් සීමොන් පේදුරු ඔහුට සංඥා කොට, ''උන් වහන්සේ කවරෙකු අදහස් කළ සේක් දැ යි කිව මැනැවැ''යි ඔහුට කී ය. 25 ඔහු ද, සිටි ලෙස ම ජේසුස් වහන්සේගේ ළයට නැඹුරු වී, ''ස්වාමීනි, ඒ කවුරු දැ''යි ඇසී ය. 26 එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, ''මම රොටි කෑල්ලක් පොඟවා යමෙකුට දෙම් ද, ඒ ඔහු ය''යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ ඒ කෑල්ල පොඟවා සීමොන් ඉස්කාරියොත්ගේ පුත් ජූදස්ට දුන් සේක. 27 ඔහු ඒ කෑල්ල අතට ගත් විගස ඔහුට සාතන් ආවේශ විය. එවිට ජේසුස් වහන්සේ ඔහු අමතා, ''ඔබේ අදහස වහා ම ඉටු කරන්නැ''යි වදාළ සේක. 28 උන් වහන්සේ කුමක් නිසා මෙසේ වදාළ සේක් දැ යි කෑමට හිඳගත් අයගෙන් කිසිවෙක් තේරුම් නොගත්හ. 29 ජූදස් පොදු මුදල් පසුම්බිය භාර ව සිටි බැවින්, මංගල්‍යයට වුවමනා දේ මිල දී ගන්න කියා හෝ දිළිඳුන්ට යමක් දෙන්න කියා හෝ ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේකැ යි සමහරු සිතූ හ. 30 ඔහු ඒ රොටි කෑල්ල අතට ගත් පසු, නොපමා ව පිටතට ගියේ ය. එය රෑ කාලය වී ය.
31 ජූදස් පිටතට ගිය කල, ජේසුස් වහන්සේ කතා කොට, ''දැන් මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමයට පැමිණ ඇත. 32 එතුමාණන් තුළින් දෙවියන් වහන්සේ ද මහිමයට පැමිණි සේක් නම්, දෙවියන් වහන්සේ තමන් තුළින් ඔහු ද මහිමයට පමුණුවන සේක. එය වහා ම කරන සේක. 33 දරුවෙනි, මා ඔබ සමඟ සිටින්නේ තව ටික වේලාවක් පමණකි. ඔබ මා සොයනු ඇත. එහෙත් මා ජුදෙව්වරුන්ට කීවාක් මෙන් දැන් ඔබටත් කියමි: මා යන තැනට ඔබට පැමිණිය නොහැකි ය;



Comments