Sinhala bible readings 26.02.2015 අද සුපුවත

මා ඔබ යැදු කල ඔබ වහන්සේ මට පිළිතුරු දුන් සේක

පළමු කියවීම/ එස්තර් 4:17

මරණ භීතියෙන් වෙළුණු එස්තර් බිසව ද සමිඳාණන් වහන්සේගේ පිළිසරණ සොයන්නට වූවා ය. ඇය තම මාහැඟි ඇඳුම් ඉවත ලා ශෝකය අඟවන ඇඳුම් හැඳගත්තී ය. සිය හිසෙහි ගැල්වූ අනර්ඝ සුවඳ පැන් වෙනුවට අළු හා සත්ත්ව මල තවරා ගත්තී ය. ඇය සිය ශරීරයට හිංසා කරගනිමින් මීට පෙර තම ශරීරය අලංකාර කරගත් තැන්වල ඇගේ කේශ කලාපයෙන් උදුරන ලද කෙස් රොදවල් විසි කරන ලදී. ඇය ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට බැගෑපත් ව යාච්ඤා කරමින් මෙසේ කීවා ය:
මා සමිඳුනි, අප රජිඳුනි, ඔබ එක ම තැනැන් වහන්සේ ය.
මා සහයට වැඩිය මැනව.
මම තනි වී සිටිමි.
ඔබ හැර අන් උදව්කරුවකු මට නැත.
මාගේ දිවියට අනතුර මා අත ළඟයි.
සමිඳුන් වන ඔබ සියලු ජාතීන් අතරෙන් ඉශ්රායෙල්වරුන් ද පැරණි ජනයා අතරෙන් අපේ පියවරුන් ද ඔබේ සදා උරුමය වන පිණිස තෝරාගත් බව මම බාල වියෙහි දී මාගේ පවුලේ තුරුල්ලෙහි දී ම ඉගෙනගතිමි.
ඔබ පොරොන්දු වූ පරිදි ඔබ ඔවුන් සැලකුවෙහි ය.
සමිඳුනි, අපේ විපත් දවසේ දී අප සිහි කළ මැනව. 
ඔබගේ වැඩසිටීම ද අනාවරණය කළ මැනව. 
දේවාතිදෙවියනි, සව් බලැති සමිඳුනි, මා දිරිගැන්වුව මැනව. 

 

සුවිශේෂය/ මතෙව් 7:7-12

7 ''ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ. 8 මන්ද, ඉල්ලන්නාට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට දොර අරිනු ලැබේ. 9 ඔබ අතරෙන් කවර මනුෂ්‍යයෙක් හෝ තමාගේ පුත්‍රයා පාන් ගෙඩියක් ඉල්ලුවොත් ඔහුට ගල් ගෙඩියක් දෙයි ද? 10 මාළුවෙකු ඉල්ලුවොත්, සර්පයෙකු දෙයි ද? 11 මෙසේ අයහපත් ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නහු නම්, ස්වර්ගයෙහි සිටින, ඔබේ පියාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ ඊටත් වැඩියෙන් නොදෙන සේක් ද?''

12 ''අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ හරය එය වේ.''

Comments