අද සුපුවත -ඔක්තෝබර් 30

අද සුපුවත -ඔක්තෝබර් 30

පළමු කියවීම/එපීස 6:10-20

10 අවසාන වශයෙන් සමිඳාණන් වහන්සේ තුළ ද උන් වහන්සේගේ ප්‍රබල ශක්තියෙහි ද බලවත් වන්න. 11 යක්ෂයාගේ සියලු උපායවලට විරුද්ධ ව සිටින්නට ඔබට පිළිවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වන්න. 12 මන්ද, අපගේ සටන, මිනිස් සතුරන්ට විරුද්ධ ව නොව, අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින සකල දුෂ්ට බලවේගයන්ට ද විරුද්ධ ව ය. 13 එබැවින් නපුරු දවස පැමිණි විට ඊට විරුද්ධ ව සිටින්න පුළුවන් වන පිණිසත්, කළහැකි හැම දෙයක් ම කර, ස්ථිර ව සිටින්න පුළුවන් වන පිණිසත්, දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ ව සිටින්න. 
14
එබැවින් ස්ථිර ව ඉන්න. ඔබගේ ඉඟටිය, සත්‍යය නමැති පටියෙන් බැඳ ගන්න. දමිටුකම නමැති ළයවැස්ම පැළඳගන්න. 15 සාම සුබ අස්න නමැති වහන් පය ලා සූදානම් ව සිටින්න. 16 තවද ඇදහිල්ල නමැති පලිහ ගන්න. එයින් නපුරාගේ සියලු ගිනිමය ඊතල මැඬලන්නට ඔබට හැකි වන්නේ ය. 17 ගැළවීම නමැති හිස් වැස්ම ද ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් වන දේව වචනය නමැති කඩුව ද ගන්න. 18 සෑමවිට ම, මුළු සිතින් යාච්ඤාවේ ද අයැදීමේ ද යෙදී සිටින්න. ආත්මයාණන් වහන්සේගේ බලයෙන් යාච්ඤා කරන්න. මේ කරුණ නිසා නිතර අවදි ව නොකඩ ව දෙවියන් වහන්සේගේ සියලු සෙනඟ උදෙසා, යාච්ඤා කරන්න. 19 සුබ අස්නේ අබිරහස ප්‍රකාශ කරන පිණිස, කතා කරන කොයි විටත්, නිර්භය ව එසේ කිරීමේ ශක්තිය මට ලැබෙන ලෙස යාච්ඤා කරන්න. 20 සිරගත ව සිටින මම, ඒ සුබ අස්න වෙනුවෙන් තානාපතියෙක් වෙමි. ඒ ගැන යුතු ලෙස අභීත ව කතා කිරීමට මට හැකි වනු පිණිස යාච්ඤා කරන්න.

සුවිශේෂය/ලූක් 13:31-35

31 ඒ මොහොතේ දී ම පරිසිවරුන්ගෙන් සමහරෙක් පැමිණ, ''මෙ‍තැනින් අහක් ව ගිය මැනව. මන්ද, හෙරොද් ඔබ මරනු රිසියෙන් සිටින්නේ ය''යි කී හ. 32 උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙ‍සේ වදාළ සේක: ''ඔබ ගොස් ඒ හිවලාට මෙ‍සේ කියන්න: අදත්, හෙටත් මම දුෂ්ටාත්මයන් දුරු කොට රෝග සුව කරමි. තුන් වැනිදා මාගේ පරමාර්ථය මුදුන් පත් කරගන්නෙමි, 33 එසේ වුව ද, අදත්, හෙටත්, අනිද්දාත් මා චාරිකාවෙහි යෙදිය යුතු ය: කුමක් හෙයින් ද, දිවැසිවරයෙකුගේ මරණය ජෙරුසලමෙන් පිටත දී සිදුවිය නොහැකි ය.'' 
34 ''
අහෝ! ජෙරුසලම, දිවැසිවරයන් නසන, තී වෙත එවූ දූතයන්ට ගල් ගසන ජෙරුසලම! කිකිළියක ඇගේ පැටවුන් සිය පියාපත් යටට එක්රැස් කරගන්නාක් මෙ‍න්, තිගේ දරු කැල එක්රැස් කරගන්නට මම කී වරක් කැමැති වීම් ද? එහෙත් ඔබ කැමැති වූයේ නැත. 35 බලන්න, ඔබේ දේව මාලිගාව පාළු කරදමා තිබෙන හැටි! තවද, 'සමිඳාණන් වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාට ආසිරි වේ වා'යි පවසන තුරු ඔබ මා යළි නොදක්නහු ය යි මම ඔබට කියමි.''



Comments