අද සුපුවත -ඔක්තෝබර් 29

අද සුපුවත -ඔක්තෝබර් 29

පළමු කියවීම/එපීස 6:1-9
1 දරුවෙනි, ඔබේ දෙමවුපියන්ට සමිඳාණන් වහන්සේ තුළ කීකරු වන්න. එය ඔබගේ යුතුකම ය. 2 ''ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න'' යනු පොරොන්දුවක් ඇති පළමු වන ආඥාව ය. 3 එනම්, එසේ කිරීමෙන් ඔබට සෙත සැලසෙනු ඇත; ඔබ මිහි පිට බොහෝ කල් ජීවත් වනු ද ඇතයනුයි. 4 පියවරුනි, ඔබේ දරුවන් කෝප නොකරන්න. එසේ නොකර ඔවුන් සමිඳාණන් වහන්සේ තුළ විනයෙන් ද අවවාදයෙන් ද ඇතිදැඩි කරන්න.
5 දාසයෙනි, ඔබ ක්‍රිස්තුන් වහන්සේට මෙන්, මෙලොව ඔබේ ස්වාමිවරුන්ට අවංක සිතින්, බයාදුකමින් හා ගෞරවයෙන් සේවය කරන්න. 6 මිනිසුන් සතුටු කරන අදහසින් මූනිච්චාවට වැඩ නොකර, ක්‍රිස්තුන් වහන්සේගේ දාසයන් මෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත මුළු සිතින් ම කරන්න. 7 මනුෂ්‍යයන්ට සේවය කරන්නාක් මෙන් නොව, සමිඳාණන් වහන්සේගේ දාසයන් මෙන් ප්‍රසන්න සිතින් සේවය කරන්න. 8 දාසයෙක් හෝ නිර්දාසයෙක් හෝ වේවා, යමෙකු කරන යහපත් දේ අනුව දෙවියන් වහන්සේ ඔහුට විපාක දෙන බව මතක තබාගන්න. 
9
ස්වාමිවරුනි, ඔබේ දාසයන්ටත් එලෙස ම සලකා, ඔවුනට තර්ජනය කිරීමෙන් වැළකෙන්න. ඔවුන්ටත් ඇත්තේ, මිනිසුන්ගේ තරාතිරම් නොබලන, ස්වර්ගයේ සිටින එක ම ස්වාමීන් බව මතක තබාගන්න.


සුවිශේෂය/ලූක් 13:22-30 

 22 උන් වහන්සේ ජෙරුසලම බලා යද්දී නගර හා ගම් නියම්ගම් මැදින් අනුශාසනා කරමින් වැඩි සේක. 23 එක් කෙනෙක් කතා කොට, ''ස්වාමීනි, ගැළවීම ලබන්නෝ ස්වල්ප දෙනෙක් පමණක් දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය. උන් වහන්සේ ඔවුන්ට කතා කොට මෙ‍සේ වදාළ සේක: 24 ''පටු දොරෙන් ඇතුළු වන්නට වීර්ය කරන්න. මන්ද, බොහෝ දෙනෙක් ඇතුළු වන්නට සොයන නමුත් ඔවුන්ට නොහැකි වේ ය යි මම ඔබට කියමි. 25 ගෙදර ස්වාමියා නැඟිට දොර වැසූ පසු ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, 'ස්වාමීනි, අපට දොර හැරිය මැනවැ'යි කියන කල, 'නුඹලා කොතැනින් ආවාහු දැ යි නොදනිමි'යි ඔහු පිළිතුරු දෙනු ඇත. 26 එවිට ඔබ: 'අපි ඔබ සමඟ කෑවෙමු, බීවෙමු, ඔබ අපේ වීදිවල ඉගැන්වූ සේකැ'යි කියන්නහු ය. 27 එහෙත් ඔහු කතා කොට, 'නුඹලා කොතැනින් ආවාහු දැ යි මම නොදනිමි. අදමිටුකම් කරන නුඹලා සියලු දෙනා ම මා කෙරෙන් පලා යව්' යයි කියන්නේ ය. 28 ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සියලු දිවැසිවරයන් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි සිටිය දී ඔබ පිටතට දමනු ලබන කල එහි විලාප කීම ද දත්මිටිකෑම ද ඇති වේ. 29 තවද, මනුෂ්‍යයෝ පෙරදිගින් හා අපරදිගින් ද උතුරු දිගින් හා දකුණු දිගින් ද පැමිණ දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි මංගල භෝජනයට අසුන් ගන්නෝ ය. 30 මෙ‍න්න, දැන් අන්තිමයන් ව සිටින සමහරු ප්‍රථමයෝ ද දැන් ප්‍රථමයන් ව සිටින සමහරු අන්තිමයෝ ද වන්නෝ ය.'' 

                                                                                             

Comments