ඔක්තෝබර් මස 26 ඉරිදා

ඔක්තෝබර් මස 26 ඉරිදා
අපේ සවි ශක්තිය වන සමිදුනි ,අපි ඔබ වහන්සේට ප්‍රේම කරමු

පළමු කියවීම/නික්මයාම 22:20-27

 20 ''සමිඳාණන් වහන්සේ හැර අන් දෙවිවරුන්ට පුද පූජා කරන තැනැත්තා මරණයට පත් කළ යුතු ය. 21 ''නුඹලා විදේශිකයෙකුට අයුත්තක් වත් හිරිහැරයක් වත් නොකළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශිකයන් ව සිටි හෙයිනි. 22 නුඹලා කණවැන්දුම් ස්ත්‍රියකට වත්, අනාථ දරුවෙකුට වත් හිරිහැර නොකළ යුතු ය. 23 නුඹලා ඔවුන්ට හිරිහැර කොට ඔවුන් මට මොරගැසුවොත් මම සැබැවින් ම ඔවුන්ගේ මොරගැසීමට සවන් දෙමි. 24 එවිට මගේ උදහස ඇවිළී, මම කඩුවෙන් නුඹලා නසන්නෙමි. නුඹලාගේ භාර්යාවෝ කණවැන්දුම් ස්ත්‍රීහු ද, නුඹලාගේ දරුවෝ අනාථ දරුවෝ ද වන්නෝ ය. 
25 ''
නුඹලා මගේ සෙනඟ අතර සිටින දිළින්දෙකුට මුදල් ණයට දුන්නොත්, පොළියට මුදල් දෙන අය මෙන් නොහැසිරිය යුතු ය. නුඹලා බලයෙන් පොළියක් ද නොගත යුතු ය. 26 නුඹ උගසක් මෙන් යමෙකුගේ වස්ත්‍රය ගන්නෙහි නම් ඉර බැස යාමට පෙර එය ඔහුට ආපසු දිය යුතු ය. 27 මන්ද, ඔහුට ඇත්තේ ඒ පොරෝණය පමණක් බැවිනි. ඔහු තමාගේ ඇඟට පොරොවාගන්නේ ඒ වස්ත්‍රය වේ. නැත්නම් ඔහුට නිදාගන්න ඇත්තේ කුමක් ද? ඔහු මට මොරගසන විට මා අනුකම්පා සහගත බැවින් ඔහුට සවන් දෙමි.                                                                

දෙවන කියවීම/1 තෙසලෝනික 1:5-10 

5 මන්ද, අප සුබ අස්න ඔබ වෙත ගෙනාවේ වචන මාත්‍රයෙන් පමණක් නොව, ශුද්ධාත්ම බලය හා සහතික විශ්වාසය ඇතිව ය. ඔබගේ යහපත උදෙසා අපි ඔබ අතර කෙසේ ජීවත් වීමු දැ යි ඔබ දන්නහු ය. 6 ඔබ ද, බොහෝ දුක් විඳිමින්, ශුද්ධාත්මයාණන්ගෙන් වන ප්‍රීතිය ඇතිව පණිවුඩය පිළිගැනීමෙන්, අප ද සමිඳාණන් වහන්සේ ද අනුගමනය කරන්නො‍් වූවහු ය. 7 මෙලෙස ඔබ මසිදෝනියෙහි සහ ග්‍රීසියෙහි සිටින සියලු ඇදහිලිවතුන්ට ආදර්ශයක් වූවහු ය. 8 මන්ද, ඔබ වෙතින් සමිඳාණන් වහන්සේගේ පණිවුඩයේ රාවය මසිදෝනියෙහිත් ග්‍රීසියෙහිත් පිළිරැව් දුන්නා පමණක් නොව, දෙවියන් වහන්සේ කෙරෙහි වූ ඔබේ ඇදහිල්ල සෑම තැන ම පතළ විය. මේ ගැන වැඩි යමක් කීම අවශ්‍ය නැත. 9 අප ඔබ වෙත පැමිණි විට ඔබ අප පිළිගත් ආකාරය ගැන ද, ජීවමාන වූ සත්‍ය වූ දෙවියන් වහන්සේට සේවය කරනු පිණිස ඔබ දේවතා වන්දනාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරුණු අන්දම ගැන ද ඔව්හු ම කතා කරති. 10 තවද, මරණයෙන් උත්ථාන කරනු ලැබූ, පැමිණෙන්නට යන උදහසින් අප මුදන්නා වූ, තමන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ජේසුස් වහන්සේ ස්වර්ගයෙන් වඩිනු බලාපොරොත්තුවෙමින් ඔබ සිටින ආකාරය ගැන ද ඔව්හු කතා කරති.

සුවිශේෂය/මතෙව්  22;34-40

34 උන් වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ බව අසා පරිසිවරු එක්රැස් වූ හ. 35 ඔවුන් අතරෙන් විනයධරයෙක් උන් වහන්සේ පරීක්ෂා කරමින්, 36 ''ගුරුදේවයිනි, ව්‍යවස්ථාවලියෙහි ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ''යි ඇසී ය. 37 උන් වහන්සේ ඔහුට කතා කොට, '' 'නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු සිතින් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න.' 38 මෙය ශ්‍රේෂ්ඨතම පළමු වන ආඥාව ය. 39 දෙ වන ආඥාව ද එයට සමාන ය. එනම්, 'නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න' යනුයි. 40 මුළු ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය රඳා ඇත්තේ මේ ආඥා දෙක මත ය''යි වදාළ සේක.

Comments