අද සුපුවත -ඔක්තෝබර් 25

අද සුපුවත -ඔක්තෝබර් 25
සමිදු මැදුරට යමුයි කීවිට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි

පළමු කියවීම/එපීස 4:7- 16

7 එහෙත් ක්‍රිස්තුන් වහන්සේ සිය දීමනාවේ ප්‍රමාණය අනුව අප එකිනෙකාට දේව වරප්‍රසාදය ප්‍රදානය කර ඇත. 8 ඒ ගැන මෙසේ කියා තිබේ: ''උන් වහන්සේ අග්‍රස්ථානයට නැඟුණු කල, පරදවා ජයගත් සතුරු සේනාව ගෙන ගොස්, මිනිසුන්ට දීමනා පිරිනැමූ සේක.'' 
9
උන් වහන්සේ නැඟුණ සේකැ යි කීමෙන් කුමක් අදහස් කෙරේ ද? එයින් අදහස් කරන්නේ උන් වහන්සේ ප්‍රථමයෙන් පොළොවේ පහත් ම තැන් වලට බැස්ස බව ය. 10 පහළට බැස වදාළ තැනැන් වහන්සේ නම්, මුළු විශ්වය පූර්ණ කරන පිණිස සියලු ස්වර්ග ලෝක ඉක්මවා ඉහළට නැඟුණු තැනැන් වහන්සේ ම ය. 11 මේ ක්‍රිස්තුන් වහන්සේ, සමහරුන් ප්‍රේරිතයන් ද සමහරුන් දිවැසිවරුන් ද සමහරුන් ධර්ම දේශකයන් ද සමහරුන් සභා පාලකයන් ද සමහරුන් ගුරුවරුන් ද වශයෙන් පත් කළ සේක. 12 එසේ කළේ දෙවියන් වහන්සේගේ සෙනඟ දේව සේවය සඳහා සම්පූර්ණයෙන් පුහුණු කිරීමටත්, ක්‍රිස්තු ශරීරය වර්ධනය කිරීමටත් ය. 13 මේ ආකාරයෙන් ඇදහිල්ලේ ද දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් දැනගැන්මේ ද එකමුතුකමටත්, ක්‍රිස්තුන් වහන්සේගේ පරිණතභාවයෙන් වන පරිපූර්ණ පෞරුෂත්වයටත් අපි පත් වන්නෙමු. 14 එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙන, තරංගවලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු. 15 එසේ නොවී, අපි ප්‍රේමයෙන් සත්‍යය කතා කරමින් ක්‍රිස්තුන් වහන්සේ තුළ හැම අයුරින් ම වර්ධනය වන්නෙමු. 16 හිස වන උන් වහන්සේ කරණකොටගෙන මුළු ශරීරය, ඊට සපයා ඇති එක එක අවයවයයෙන් සන්ධි කොට, ඒකාබද්ධ කරනු ලැබේ. එක එක අවයවය ඊට යුතු ලෙස ක්‍රියා කළ විට මුළු ශරීරය ප්‍රේමයෙන් වැඩී, වර්ධනය වේ.

සුවිශේෂය/ලූක් 13:1-9
1 ඒ අවස්ථාවෙහි එහි සිටි සමහරෙක් කතා කොට, පිලාත් විසින් ගලීලයන් මරා ඔවුන්ගේ ලේ ඔවුන්ගේ ම යාග සමඟ මිශ්‍ර කළ අන්දම ගැන උන් වහන්සේට දැන්වූ හ. 2 උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ''ඒ ගලීලයන් එබඳු විපතක් වින්ද බැවින් ඔව්හු අන් හැමට ම වඩා පාපී වූ හ යි ඔබ සිතන්නහු ද? එසේ නොවේ ය යි මම ඔබට කියමි. 3 පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැම ද එසේ ම විනාශ වන්නහු ය. 4 සිලෝවම් හී බලකොටුව වැටී ඊට යට වී මළ දසඅට දෙන ජෙරුසලමෙහි විසූ අන් හැමට ම වඩා දුෂ්ට වූ හ යි ඔබ සිතන්නාහු ද? ‍ 5 එසේ නොවේ ය යි ඔබට කියමි. පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැමට වන්නේත් එම විපත්තිය ම ය''යි වදාළ සේක.6 උන් වහන්සේ උපමාවක් වදාරමින්, ''එක් මිනිසකුගේ මිදි වත්තෙහි වැඩුණු අත්තික්කා ගසක් විය. ඔහු ඒ ගසේ ගෙඩි සොයා ආවේ ය. එහෙත් කිසිවක් සම්බ නො වී ය. 7 එවිට ඔහු උයන්ගොව්වාට කතා කරමින්, 'බලන්න, දැන් අවුරුදු තුනක් ම මේ අත්තික්කා ගසේ ගෙඩි සොයා ආ නමුත් කිසිවක් සම්බ නො වී ය. ගස කපා දමන්න; එය පොළොවට බරක් ව තිබිය යුතු මන්දැ'යි කී ය. 8 ඔහු උත්තර දෙමින්, 'ස්වාමීනි, එය වටකර හාරා පෝර දමන පිණිස මේ අවුරුද්දටත් තිබුණා වේ. 9 ඉන්පසු පල දැරුවොත් හොඳ ය; නැති නම් එය කපා දමන්නට පුළුවනැ' ''යි කී බව වදාළ සේක.


Comments