අද සුපුවත -ඔක්තෝබර් 24

අද සුපුවත -ඔක්තෝබර් 24
නිර්මල සිතැත්තෝ දෙවිදුන් සොයන්නෝය

පළමු කියවීම/එපීස 4:1- 6

1 එබැවින්, දෙවියන් වහන්සේගෙන් ඔබ ලත් කැඳවීමට ඔබින ලෙස හැසිරෙන මෙන් සමිඳාණන් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන මම ඔබෙන් උදක් ම ඉල්ලමි. 2 සැම විට ම නිහතමානි ව, විනීත ව, ඉවසිලිවන්ත ව සිටින්න; ප්‍රේමයෙන් එකිනෙකා සමඟ පෑහී සිටින්න;
 3 ආත්මයාණන් වහන්සේගෙන් වන එක්සත්කම, සමඟිකමේ බැම්මෙන් පවත්වාගන්ට උත්සාහ කරන්න. 4 ඔබ කැඳවනු ලැබූ කල එක ම බලාපොරොත්තුවකට කැඳවනු ලැබූ ලෙස, ඇත්තේ එක ම ශරීරයත්, එක ම ආත්මයාණන් වහන්සේත් ය; 5 එක ම සමිඳාණන් වහන්සේත්, එක ම ඇදහිල්ලත්, එක ම බව්තීස්ම-ස්නාපනයත් ය; 
6
සියල්ලන්ට ඉහළින් සිටින, සියල්ලන් තුළින් ක්‍රියා කරන, සියල්ලන් තුළ වැඩවසන එක ම දෙවි පියාණන් වහන්සේත් ය. 

සුවිශේෂය/ලූක් 12:54-59

54 තවද උන් වහන්සේ සමූහයන්ට කතා කොට, ''අවර දිගින් වලාකුළක් නඟිනු ඔබ දක්නා විට, 'වර්ෂාවක් එන්නේ ය'යි ඔබ එවේලේ ම කියන්නහු ය; එසේ ම වහින්නේ ය. 55 දකුණු දිගින් සුළඟ හමන විට, 'දැඩි ග්‍රීෂ්මයක් වන්නේ ය'යි ඔබ කියන්නහු ය; එසේ ම වන්නේ ය. 56 කෛරාටිකයෙනි, අහසේ ද පොළොවේ ද ලකුණු තෝරා දීමට ඔබ දන්නාහු ය; එහෙත් මේ නියමිත මොහොත ඔබ නොදන්නේ කෙසේ ද?''57 ''හරි දෙය කුමක් දැ යි ඔබ ම විනිශ්චය නොකරන්නේ මන් ද? 58 ඔබේ පැමිණිලිකාරයා සමඟ උසාවියට යන විට, මඟ දී ම ඔහු සමඟ බේරුමක් කර ගැනීමට බොහෝ වෙහෙස මහන්සි ගන්න. එසේ නොකළොත් සමහරවිට ඔහු ඔබ නඩුකාරයා වෙත ඇදගෙන යන්නේ ය; නඩුකාරයා ද ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; උසාවියේ නිලධාරියා ඔබ හිරගෙට යවන්නේ ය. 59 අන්තිම සතයට ගෙවන තුරු ඔබ එතැනින් පිටතට නොඑන්නෙහි යයි ඔබට කියමි.''

Comments