අද සුපුවත -ඔක්තෝබර් 23

අද සුපුවත -ඔක්තෝබර් 23
නිර්මල සිතැත්තෝ දෙවිදුන් සොයන්නෝය

පළමු කියවීම/එපීස 3:14-21

14 මේ හේතුව නිසා, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු පෙළපත්වලට නාමය දෙන්නා වූ, 15 පියාණන් වහන්සේ ඉදිරියෙහි මම දණින් වැටී යාච්ඤා කරමි. 16 උන් වහන්සේගේ මහිමතාවේ සම්පතේ හැටියට, ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔබේ ආධ්‍යාත්මික භාවය ශක්තිසම්පන්න වන පිණිස ඔබට බලය දෙන ලෙස ද,
17 ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ ඔබේ සිත් තුළ වාසය කරන පිණිස ද, යාච්ඤා කරමි. තවද, ප්‍රේමයේ මුල් බැස, ස්ථිර ව පිහිටා සිටින පිණිස ද, යාච්ඤා කරමි.
18 සියලු සැදැහැවතුන් සමඟ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ දිගත්, පළලත්, උසත්, ගැඹුරත් වටහා ගැනීමට ශක්තිය ලබා, 19 ක්‍රිස්තුන් වහන්සේගේ ඥානාතික්‍රාන්ත ප්‍රේමය අවබෝධ කරගෙන, දෙවියන් වහන්සේගේ පරිපූර්ණතාවෙන් ඔබ පූර්ණ වන පිණිස ද යාච්ඤා කරමි. 
20
අප තුළ ක්‍රියා කරන බලය කරණකොටගෙන අප ඉල්ලන, සිතන සියලු දේට වඩා අධික ලෙස කරන්නට බලය ඇති 21 දෙවියන් වහන්සේට සභාව තුළ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ද යුගයෙන් යුගයට, සදහට ම මහිමය වේ වා! ආමෙන්.

සුවිශේෂය/ලූක් 12:49-53


49 ''පොළොව මත ගිනි ලන්න ආවෙමි. ගින්න දැනට ම ඇවිළී තිබේ නම් කොපමණ හොඳ ද! 50 මට එක්තරා බව්තීස්ම-ස්නාපනයක් ලබන්න තිබේ; එය ඉටු වන තුරු මම දැඩි සිත් වේදනාවෙන් පසු වෙමි. 51 පොළොවෙහි සාමය දෙන පිණිස ආවෙමි යි ඔබ සිතන්නාහු ද? එසේ නොවේ. මා ආවේ භේද ඇති කරන පිණිස යයි මම ඔබට කියමි. 52 මෙ‍වක් පටන් එක ගෙදර වසන පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුට විරුද්ධ ව තිදෙනෙක් ද තිදෙනෙකුට විරුද්ධ ව දෙදෙනෙක් ද භේද වන්නෝ ය. 53 පියා පුතාටත්, පුතා පියාටත්, මව දුවටත්, දුව මවටත්, නැන්දම්මා ලේලිටත්, ලේලිය නැන්දම්මාටත් විරුද්ධ ව භේද වන්නෝ ය.''







Comments