අද සුපුවත -ඔක්තෝබර් 22

අද සුපුවත -ඔක්තෝබර් 22
ගැලවීම ගෙන දෙන උල්පතින් දිය බී ප්‍රීතිවෙමු

පළමු කියවීම/එපීස 3:2-12

 2 ඔබේ යහපත පිණිස සේවය කිරීමේ වරප්‍රසාදය දෙවියන් වහන්සේ මට බාර දී ඇති බව ඔබ ඇත්තෙන්ම අසා ඇත. 3 මා ලුහුඬින් ලියා තිබෙන ලෙස, මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී. 4 මා ලියා ඇති ඒ දේ කියවීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ගැන මට ඇති අවබෝධය ඔබට තේරුම් ගත හැකි ය. 5 ආදි පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අබිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයාණන් කරණකොටගෙන ශුද්ධ ප්‍රේරිතයනටත්, දිවැසිවරයනටත් එය එළිදරව් කර ඇත. 6 ඒ අබිරහස නම්, සුබ අස්න කරණකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ විජාතීන් ජුදෙව්වරුන් සමඟ හවුල් උරුමක්කාරයන් ද සභා ශරීරයේ හවුල් සාමාජිකයන් ද පොරොන්දුවේ හවුල් පංගුකාරයන් ද වන බව ය. 7 දෙවියන් වහන්සේගේ බලයේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට, මට දෙන ලද උන් වහන්සේගේ කරුණාවේ දීමනාව ලෙස, මම ඒ සුබ අස්නේ සේවකයෙක් කරනු ලැබීමි. 8 සැදැහැවතුන්ගෙන් ඉතා සුළු තැනැත්තාටත් වඩා සුළු වූ මට, මේ වරප්‍රසාදය දෙන ලද්දේ, ක්‍රිස්තුන් වහන්සේගේ අසීමිත ධන සම්භාරය, විජාතීන්ට දේශනා කිරීමටත්, 9 මේ අබිරහස් අරමුණ ක්‍රියාත්මක කරනු ලබන ආකාරය එළිදරව් කිරීමටත් ය. යුග ගණනාවක් මුළුල්ලේ ඒ අබිරහස විශ්වයේ මැවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේ තුළ සැඟවී තිබිණි. 10 එසේ වූයේ, මේ කාලයේ දී, ශුද්ධ සභාව මඟින් ස්වර්ග ලෝකවල අධිපතීන්ටත්, බලධාරීන්ටත්, දෙවියන් වහන්සේගේ විවිධාකාර ප්‍රඥාව දන්වනු ලබන පිණිස ය.
 11 දෙවියන් වහන්සේ මෙසේ කළේ, අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ ඉටු කළ ස්වකීය සදාතන අභිප්‍රායට අනුකූල ව ය. 12 ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අපේ ඇදහිල්ල කරණකොටගෙන නිර්භීතකමත්, සැක නැතිව දෙවියන් වහන්සේ වෙත ළඟා වීමේ නිදහසත්, උන් වහන්සේ තුළ අපට ඇත.


                                                                                                         
සුවිශේෂය/ලූක් 12:39-48                                                                                                                   
39 එහෙත්, සොරා කොයි පැයේ දී එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා හිඳ, තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න. 40 එබැවින් ඔබත් සූදානම් ව සිටින්න. මෙ‍සේ කියන්නේ, ඔබ බලාපොරොත්තු නොවන පැයක දී මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩින නිසා ය.''41 එවිට පේදුරු කතා කරමින්, ''ස්වාමීනි, මේ උපමාව වදාරන්නේ අප උදෙසා ද, නැතහොත් සියල්ලන් උදෙසා දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය. 42 එවිට සමිඳාණන් වහන්සේ මෙ‍සේ පිළිතුරු දුන් සේක: ''ඉදින් ස්වාමියා විසින් තම ගෙයි වැසියන්ට නියම වේලාවට ආහාර කොටස සපයන පිණිස ඔවුන් කෙරේ පත් කරනු ලබන විශ්වාසී, සිහි නුවණ ඇති ගබඩාකාරයා කවරෙක් ද? 43 ස්වාමියා ආ කල යම් දාසයකු සිය සේවයෙහි සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයා භාග්‍යවන්තයෙක් ය. 44 ඒ ස්වාමියා තමා සන්තක සියල්ල භාර ව ඔහු පත් කරන්නේ යයි ඇත්තෙන් ම මම කියමි. 45 එහෙත් ඒ දාසයා, 'මාගේ ස්වාමියාගේ ඊම පමාවනු ඇතැ'යි සිතමින් දැසිදසුන්ට පහර දෙන්නටත් කා බී මත් වන්නටත් පටන් ගතහොත්, 46 ඔහු බලාපොරොත්තු නොවන දිනක දී, නොදන්නා පැයක දී ඒ දාසයාගේ ස්වාමියා අවුත් ඔහුට දරුණු ලෙස දඬුවම් කොට, අවිශ්වාසීන්ට නියම ඉරණම ඔහුටත් නියම කරන්නේ ය. 47 සිය ස්වාමියාගේ අදහස දැනගෙනත්, ඒ අදහස පරිදි කටයුතු සංවිධානය නොකළාවූ ද ක්‍රියා නොකළාවූ ද දාසයා බොහෝ පහර ලබන්නේ ය. 48 එහෙත් ඒ අදහස නොදැන, පහර ලැබීමට නිසි දේ කළ අය ස්වල්ප වශයෙන් පහර ලබන්නො‍් ය. යමෙකුට බොහෝ දේ දෙන ලද්දේ ද, ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනු ලැබේ; යමෙකුට බොහෝ දේ පවරන ලද්දේ ද, ඔහුගෙන් ඊටත් වැඩියෙන් බලාපොරොත්තු වනු ලැබේ.''

Comments