අද සුපුවත -ඔක්තෝබර් 21

අද සුපුවත -ඔක්තෝබර් 21
සමිදාණෝ සිය සෙනග සමාදානය කරන සේක

පළමු කියවීම/එපීස 2:12-22

 2 ඔබේ යහපත පිණිස සේවය කිරීමේ වරප්‍රසාදය දෙවියන් වහන්සේ මට බාර දී ඇති බව ඔබ ඇත්තෙන්ම අසා ඇත. 3 මා ලුහුඬින් ලියා තිබෙන ලෙස, මේ රහස එළිදරව් වීමකින් මට ප්‍රකාශ කරන ලදී. 4 මා ලියා ඇති ඒ දේ කියවීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ගැන මට ඇති අවබෝධය ඔබට තේරුම් ගත හැකි ය. 5 ආදි පරම්පරාවල මනුෂ්‍ය වර්ගයාට ඒ අබිරහස ප්‍රකාශ නොකරන ලදී. එහෙත් දැන් ආත්මයාණන් කරණකොටගෙන ශුද්ධ ප්‍රේරිතයනටත්, දිවැසිවරයනටත් එය එළිදරව් කර ඇත. 6 ඒ අබිරහස නම්, සුබ අස්න කරණකොටගෙන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ විජාතීන් ජුදෙව්වරුන් සමඟ හවුල් උරුමක්කාරයන් ද සභා ශරීරයේ හවුල් සාමාජිකයන් ද පොරොන්දුවේ හවුල් පංගුකාරයන් ද වන බව ය. 
7
දෙවියන් වහන්සේගේ බලයේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට, මට දෙන ලද උන් වහන්සේගේ කරුණාවේ දීමනාව ලෙස, මම ඒ සුබ අස්නේ සේවකයෙක් කරනු ලැබීමි. 8 සැදැහැවතුන්ගෙන් ඉතා සුළු තැනැත්තාටත් වඩා සුළු වූ මට, මේ වරප්‍රසාදය දෙන ලද්දේ, ක්‍රිස්තුන් වහන්සේගේ අසීමිත ධන සම්භාරය, විජාතීන්ට දේශනා කිරීමටත්, 9 මේ අබිරහස් අරමුණ ක්‍රියාත්මක කරනු ලබන ආකාරය එළිදරව් කිරීමටත් ය. යුග ගණනාවක් මුළුල්ලේ ඒ අබිරහස විශ්වයේ මැවුම්කාරයාණන් වන දෙවියන් වහන්සේ තුළ සැඟවී තිබිණි. 10 එසේ වූයේ, මේ කාලයේ දී, ශුද්ධ සභාව මඟින් ස්වර්ග ලෝකවල අධිපතීන්ටත්, බලධාරීන්ටත්, දෙවියන් වහන්සේගේ විවිධාකාර ප්‍රඥාව දන්වනු ලබන පිණිස ය. 11 දෙවියන් වහන්සේ මෙසේ කළේ, අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ ඉටු කළ ස්වකීය සදාතන අභිප්‍රායට අනුකූල ව ය. 12 ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අපේ ඇදහිල්ල කරණකොටගෙන නිර්භීතකමත්, සැක නැතිව දෙවියන් වහන්සේ වෙත ළඟා වීමේ නිදහසත්, උන් වහන්සේ තුළ අපට ඇත. 

සුවිශේෂය/ලූක් 12:35-38


35 ''ඔබගේ ඉඟ පටි බැඳගන්න, පහන් ද දල්වා තබාගන්න. 36 තම ස්වාමියා සරණ මංගල්‍යයෙන් පසු, පෙරළා අවුත් දොරට තට්ටු කළ වහා ම දොර හරිනු වස් ඔහුගේ ඊම බල බලා සිටින මනුෂ්‍යයන් හා සමාන ව සිටින්න. 37 ස්වාමියා එන කල දාසයන් අවදි ව සිටිනු ඔහු දුටුවොත් ඒ දාසයෝ භාග්‍යවන්තයෝ ය. ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔහු තමාගේ ඉඟ පටිය බැඳ ඔවුන් කෑමට හිඳුවා ඔවුන්ට උපස්ථාන කරන්නේ ය. 38 ඔහු දෙ වන යාමයේ දී හෝ තුන් වන යාමයේ දී හෝ අවුත් එලෙස ම දකින්නේ නම් ඒ දාසයෝ භාග්‍යවන්තයෝ ය. 

Comments