අද සුපුවත -ඔක්තෝබර් 20

අද සුපුවත -ඔක්තෝබර් 20
සමිදාණෝ අප මැවූ සේක

පළමු කියවීම/එපීස 2:1-10

 1 වැරදි ක්‍රියා හා පාප හේතුකොටගෙන ඔබ මැරී සිටි කාලයක් විය. 2 එකල ඔබ අනුගමනය කෙළේ මේ යුගයේ පවිටු මඟ ය. තවද, අකීකරු අය තුළ ක්‍රියා කරන බලවේගය වන, ආකාශ බලධාරීන්ගේ අධිපතියාට ද ඔබ යටත් ව සිටියහු ය. 3 එකල අපිත් ඔවුන්ගේ ගණයට අයිති ව, මාංසික තෘෂ්ණාවලට වහල් ව ජීවත් වෙමින්, සිතෙත් කයෙත් ආශාවන් පිනවමින්, සෙසු අය මෙන් අපේ ගතිපැවතුම් අනුව දේව උදහසට ලක් වී සිටියෙමු. 
4
එහෙත් දයාවෙන් සමෘද්ධ වූ දෙවියන් වහන්සේ, අධික ප්‍රේමයකින් අපට ප්‍රේම කළ බැවින්, 5 අපේ වැරදි ක්‍රියා හේතුකොටගෙන අප මැරී සිටිය දී පවා, ක්‍රිස්තුන් වහන්සේ සමඟ අප ජීවත් කර වදාළ සේක. ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදයෙන් ය.‍ 6 තවද, දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් උන් වහන්සේ සමඟ අප උත්ථාන කර, උන් වහන්සේ සමඟ සග ලොවෙහි අපට අසුන් ගැනීමට සැලැසූ සේක. 7 එසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ අපට දැක්වූ කරුණාව කරණකොටගෙන උන් වහන්සේගේ වරප්‍රසාදයේ මහා ධන සම්භාරය මතු යුගවලට පෙන්වන පිණිස ය.
 8 ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදය මඟින් වූ ඇදහීම කරණකොටගෙන ය. එය ඔබගේ ම ක්‍රියාවක් නොව, දෙවියන් වහන්සේගේ දීමනාව ය. 9 ගැළවීම පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයක් නොවන බැවින්, කිසිවෙකුට පාරට්ටුවට ඉඩක් නැත. 10 මන්ද, අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුන් වහන්සේ තුළ මවනු ලැබූ මැවිලි වෙමු. ඒ යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ කල් තියා අප සූදානම් කළ සේක.


සුවිශේෂය/ලූක් 12:13-21


13 සමූහයා අතරෙන් එක් තැනැත්තෙක් කතා කොට, ''ගුරුදේවයෙනි, මා සමඟ අපේ උරුමය බෙදාගන්න මාගේ සහෝදරයාට කිව මැනවැ''යි උන් වහන්සේට කී ය. 14 එහෙත් උන් වහන්සේ කතා කරමින්, ''මිත්‍රය, ඔබ කෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපළ බදෙන්නකු කොට මා පත් කෙළේ කවරෙක් දැ''යි ඔහුගෙන් ඇසූ සේක. 15 ''තවද, සියලු ආකාර තණ්හාවලින් පරෙස්සම් වෙන්නට බලාගන්න; මනුෂ්‍යයකුට කොතරම් දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය ඒ පිට රඳා නැතැ''යි ඔවුන්ට වදාළ සේක. උන් වහන්සේ උපමාවක් කියමින් මෙ‍සේ වදාළ සේක; 16 ''එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇති විය. 17 එවිට ඔහු තම සිතින් කල්පනා කරමින්, මම කුමක් කරම් ද? මාගේ භවභෝග රැස් කර තබන්න ඉඩකඩ නැත. 18 මම මෙ‍සේ කරමි: මාගේ අටුකොටු කඩා දමා වඩා විශාල ඒවා ගොඩනඟා, ඒවායේ මාගේ සියලු ධනධාන්‍ය රැස් කොට තබා, 19 'අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙ‍හි රැස් කොට තිබේ. විවේක සුවයෙන් කා බී ප්‍රීති වන්නැ'යි මට ම කියාගනිමි. 20 එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට, 'අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස් කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේ දැ'යි වදාළ සේක. 21 දෙවියන් වහන්සේ ඉදිරියෙහි පොහොසත් නොවී තමාට ම වස්තු රැස් කරගන්නා අය එවැනි ය.''

Comments