ඔක්තෝබර් මස 19 ඉරිදා

ඔක්තෝබර් මස 19 ඉරිදා

ගෞරවයද බලයද සමිදුන් හට පිරිනමන්න

පළමු කියවීම/යෙසායා 45:1,4-6 
                                                                
1 සමිඳුන්ගේ අභිෂේක ලත් රජ්ජුරුවෝ සයිරස් ය. 
ජාතීන් යටත් කිරීමටත්, රජවරුන්ගේ බලය බිඳලීමටත්, සමිඳාණෝ ඔහු සහායට ගත් සේක. 
නැවත නොවැසෙන පිණිස නගරවල දොරටු සමිඳාණෝ විවෘත ව තබන සේක. 
එතුමාණෝ සයිරස්ට මෙසේ වදාරන සේක: 
4 මා තෝරාගත් සෙනඟක් වන මාගේ සේවක ඉශ්රායෙල්වරුන්ට උපකාර කරන පිණිස මම නුඹ පත් කෙළෙමි. 
5 මම සමිඳාණන් වහන්සේ ය; 

අන් කෙනෙක් නැත. 
මා හැර අන් දෙවි කෙනෙක් නැත. 
නුඹ මා නොදන්න නමුත්, මම නුඹ ශක්තිමත් කරන්නෙමි.
6 මා එසේ කරන්නේ, මා හැර අන් දෙවි කෙනෙකු නැති බව නැගෙනහිර සිට බස්නාහිර දක්වා සිටින සියලු දෙනා දැනගන්න පිණිස ය.

මම සමිඳාණන් වහන්සේ ය, මා හැර අන් දෙවි කෙනෙක් නැත. 

දෙවන කියවීම/1  තෙසලෝනික 1:1-5  

 පාවුලු ද සිල්වානස් ද තිමෝතියස් ද යන අපි, දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනිකවරුන්ගේ සභාව වෙත ලියා එවමු. කරුණාව හා ශාන්තිය ඔබට වේ වා!2 අපේ යාච්ඤාවල දී අපි නිතර ම ඔබ සිහි කරමින්, ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පුදමු. 3 අපගේ දෙවි පියාණන් ඉදිරියෙහි, ක්‍රියාවෙන් ප්‍රකාශ වන ඔබේ ඇදහිල්ල ද, සේවයෙන් දැක්වෙන ඔබේ ප්‍රේමය ද, ඉවසීමෙන් හෙළි වන අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ වූ ඔබේ බලාපොරොත්තුව ද අපි සිහි කරමු. 4 දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය සහෝදරවරුනි, උන් වහන්සේ ඔබ තෝරාගත් බව අපි දනිමු. 5 මන්ද, අප සුබ අස්න ඔබ වෙත ගෙනාවේ වචන මාත්‍රයෙන් පමණක් නොව, ශුද්ධාත්ම බලය හා සහතික විශ්වාසය ඇතිව ය. ඔබගේ යහපත උදෙසා අපි ඔබ අතර කෙසේ ජීවත් වීමු දැ යි ඔබ දන්නහු ය.

සුවිශේෂය/මතෙව්  22;15-21

15 එවිට පරිසිවරු උන් වහන්සේ කටවචනයෙන් අල්ලාගන්නේ කෙසේ දැ යි කුමන්ත්‍රණය කළහ. 16 ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමන්ගේ ගෝලයන් උන් වහන්සේ වෙත යැවූ හ. ඔව්හු කතා කොට, ''ගුරුදේවයෙනි, ඔබ අවංක කෙනෙකු බවත්, දෙවියන් වහන්සේගේ මාර්ගය හරි ලෙස උගන්වන බවත්, මිනිසුන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොතකන බවත් අපි දනිමු. 17 එබැවින් ඔබ සිතන්නේ කුමක් ද? සීසර් අධිරාජයාට අයබදු ගෙවීම යුතු ද අයුතු දැ යි අපට කිව මැනවැ''යි කී හ. 18 එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ගේ නපුරු අදහස දැන, ''කෛරාටිකයෙනි, ඔබ මා පරීක්ෂා කරන්නේ මන් ද? 19 බදු ගෙවන කාසියක් මට පෙන්වන්නැ''යි වදාළ සේක. ඔව්හු රිදී කාසියක් ගෙනැවිත් උන් වහන්සේගේ අතට දුන්හ. 20 ''මේ රූපය හා සටහන කවරෙකුගේ දැ''යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. 21 ''සීසර් අධිරාජයාගේ ය''යි ඔව්හු කී හ. එවිට උන් වහන්සේ, ''එසේ නම් රජුගේ දේ රජුටත්, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නැ''යි වදාළ සේක. 22 ඔව්හු ඒ අසා මවිත ව උන් වහන්සේ අත්හැර ගියහ.

Comments