අද සුපුවත -සැප්තැම්බර් මස 14

පළමු කියවීම /ගණන් කතාව  21:4-9

 4 ඔව්හු හෝර් නම් කඳුකරයෙන් නික්ම රතු මුහුදට යන මාර්ගය ඔස්සේ ඒදොම් නම් දේශය වටකර ගියහ. මෙසේ යන විට සෙනඟ බොහෝ සේ අධෛර්යයට පත් වූ හ. 5 සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, ''මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ''යි පැවසූ හ. 6 එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ. 7 එබැවින් සෙනඟ මෝසෙස් වෙත පැමිණ, ''අපි සමිඳාණන් වහන්සේටත්, ඔබටත් විරුද්ධ ව කතා කිරීමෙන් පව් කෙළෙමු. මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන් වහන්සේට යාච්ඤා කරන්නැ''යි ඉල්ලූ හ. මෝසෙස් ද සෙනඟ උදෙසා යාච්ඤා කෙළේ ය. 8 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ''ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න. දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද, ඔහු එය දෙස බැලුවහොත්, සුව වනු ඇතැ''යි වදාළ සේක. 9 එවිට මෝසෙස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබී ය. සර්පයෙක් යමෙකු දෂ්ට කෙළේ ද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය.



දෙවන කියවීම /පිලිප්පි 2:6-11

 6 උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැ යි නොසිතා, 

7 තමන් වහන්සේ ම ත්‍යාජ කරගනිමින්, වහලෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක. 
8 මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක. 
9 එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක.
10 එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, පාතාල ලෝකයෙහි ද සියල්ලන්, 'ජේසුස්' යන නාමයට දණ නමන පිණිසත්, 
11 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමිඳාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය.


සුවිශේෂය /ජොහාන් 3:13-17

 

13 ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය-පුත්‍රයාණන් හැර, අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේ ය. 14 පාළුකරයෙහි දී මෝසෙස් සර්පයා එසවූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන් ද, 15 උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑම දෙන ම සදාතන ජීවනය ලබන පිණිස, ඔසවනු ලබන්නට ඕනෑ ය.'' 

16 ''දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය. 17 දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ, ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණිස ය. 

Comments