සැප්තැම්බර් මස 09- අගහරුවාදා

සමිදාණෝ සිය සෙනග කෙරෙහි ප්‍රසන්න වන සේක


පළමු කියවීම /1කොරින්ති 6:1-11

 1 ඔබගේ සහෝදරයා සමඟ ආරාවුලක් හටගත් විට එය විනිශ්චය කිරීමට කිතුනු සෙනඟ ඉදිරියට නොගොස්, කිතුනු නොවන උසාවියක් ඉදිරියට යන්නට භය නැද් ද? 2 කිතුනු සෙනඟ ලෝකයා විනිශ්චය කරන බව ඔබ නොදන්නහු ද? ලෝකයා විනිශ්චය කරන්නේ ඔබ නම්, සුළු ආරාවුලක් විසඳීමට ඔබ අපොහොසත් ද? 3 අප, දේව දූතයන් පවා විනිශ්චය කරන්නට යන බව ඔබ නොදන්නහු ද? එසේ නම් එදිනෙදා ජීවිතයට අයත් දේ විනිශ්චය කිරීම අපට කළ නොහැකි ද? 4 එබඳු කාරණා මතු වූ විට, ඒවා විසඳීම සඳහා, සභාව කිසි සේත් ගණන් නොගන්නා අය වෙත ඔබ යන්නහු ද? 5 මෙය මොන නින්දාවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරාවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද් ද? 6 සහෝදරයෙකු තවත් සහෝදරයෙකුට විරුද්ධ ව, නඩු කියාගැනීමට විශේෂයෙන් මිසදිටුවන් ඉදිරියට නඩු කියාගැනීමට යෑම සුදුසු ද? 
7 මෙසේ ඔබ එකිනෙකා සමඟ නඩු කියාගැනීම, දැනට ම ඔබට පරාජයකි. අයුක්තිය ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද? අලාභයක් ඉවසීම, ඊට වඩා හොඳ නැද් ද? 8 ඒ වෙනුවට ඔබ කරන්නේ අයුක්තියත් අලාභයත් ය. ඒකත් කරන්නේ සහෝදරයන්ට ම ය. 9 අධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති බව ඔබ දන්නේ නැද් ද? නොරැවටෙන්න. අනාචාරකම් කරන්නො‍් වත්, රූප වඳින්නෝ වත්, කාමමිථ්‍යාචාරිකයෝ වත්, සම ලිංගික සේවනයේ යෙදෙන්නෝ වත්, 10 සොරුවත්, කොල්ලකන්නෝ වත්, ලෝබියෝ වත්, බේබද්දෝ වත්, නින්දා කරන්නෝ වත්, ගසා කන්නෝ වත්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය උරුම කර නොගන්නෝ ය. 11 තවද ඔබ අතරෙන් සමහරෙක් එවැන්නෝ වූ හ. එහෙත් අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ද අපගේ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් ද ඔබ සො‍්දනු ලැබුවහු ය; ශුද්ධ කරනු ලැබුවහු ය; දමිටු කරනු ලැබුවහු ය.


සුවිශේෂය /ලූක් 6:12-19
 2 තවද, ඒ දවස්වල දී උන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැඟී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක. 13 පහන් වූ කල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා, ඔවුන් අතරෙන් දොළොස් දෙනෙකු තෝරාගෙන, ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබූ සේක. 14 ඔව්හු කවුරු ද යත්: උන් වහන්සේ විසින් පේදුරු යයි නම් කරන ලද සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද ජාකොබ් සහ ජොහන් ද පිලිප් සහ බර්තොලමෙව් ද 15 මතෙව් සහ තෝමස් ද අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ අන්ත ජාතිවාදියා යි නම් ලත් සීමොන් ද 16 ජාකොබ්ගේ පුත් ජූදස් සහ පසුව දෝහියා වූ ජූදස් ඉස්කාරියොත් ද යන මොවුහු ය.

7 උන් වහන්සේ ඔවුන් සමඟ කන්දෙන් බැස තැනිතලා බිමක නැවතී සිටි සේක; උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් මහා සමූහයක් ද, මුළු ජුදයෙන් හා ජෙරුසලමෙනුත්, තීර්හි සහ සීදොනයෙහි මුහුදුකරයෙනුත් උන් වහන්සේගේ දේශනා අසන්නට හා සිය රෝග සුව කරවාගන්නට ආ බොහෝ දෙනෙක් ද එහි වූ හ. 18 අශුද්ධාත්මයන්ගෙන් පීඩිත වූවෝ සුව කරනු ලැබූ හ. 19 උන් වහන්සේ කෙරෙන් අනුහස නික්ම ඔවුන් සියල්ලන් සුව කළ බැවින්, මුළු සමූහයා උන් වහන්සේගේ ඇඟට අත තබන්නට උත්සාහ කළහ.

Comments