සැප්තැම්බර් මස 08- සඳුදා


පළමු කියවීම /රෝම 8:28-30
      තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. 29 මන්ද, උන් වහන්සේ කලින් තෝරාගත් අය ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල්තියා වෙන් කරගත් සේක. එසේ කෙළේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් බොහෝ සොහොයුරන් අතර ජ්‍යෙෂ්ඨයාණන් වන පිණිස ය. 30 එසේ, කලින් තෝරාගත් අය උන් වහන්සේ කැඳවාගත් සේක; කැඳවාගත් අය උන් වහන්සේ දමිටු බවට පැමිණෙවූ සේක; දමිටු බවට පැමිණෙවූ අය උන් වහන්සේ හිමයට පැමිණෙවූ සේක.

සුවිශේෂය /මතෙව් 1:1-16,18-23

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී, ඔවුන් එක් වන්න පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී. 
19 ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය. 20 එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, ''දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්. 21 ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය''යි කී ය. 
22 මේ සියල්ල සිදුවූයේ සමිඳාණන් වහන්සේ දිවැසිවරයා ලවා කියෙවූ කීම ඉටු වන පිණිස ය. එනම්: 
23 ''මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නී ය; 
උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,'' 
යනු ය. ඒ නාමයේ අර්ථය නම්, ''දෙවියන් වහන්සේ අප සමඟ ය'' යනුයි. 



Comments