Monday

Ada Supuwatha අද සුපුවත 02.03.2015

සමිදුනි අපේ පාප වලට සරිලන ලෙස අපට දඬුවම් නොකළ මැනව

පළමු කියවීම/ දානියෙල් 9:4-10

4 මාගේ දෙවි ස්වාමීන් වහන්සේට මම පාපොච්චාරණයක් කරමින් මෙසේ යාච්ඤා කෙළෙමි: 
''අහෝ සමිඳාණන් වහන්ස, ඔබ වහන්සේ උත්තමතම වූ බියකරු වූ දෙවියන් වහන්සේ ය. ඔබට ප්‍රේම කොට ඔබේ ආඥා රක්ෂා කරන්නන්ට ඔබ කරුණා කරන සේක; ගිවිසුම රක්ෂා කරන සේක.

 5 දෙවියන් වහන්ස, අපි පව් කෙළෙමු. අයුතුකම් කෙළෙමු; දුෂ්ටකම් කෙළෙමු; කැරලි ගැසීමු. ඔබේ ශික්ෂාවලින් ද විනිශ්චයවලින් ද ඉවත් ව ගියෙමු. 6 ඔබ වහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, රට වැසියන් සියල්ලන්ටත් කතා කළ ඔබේ සේවක දිවැසිවරුන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමු.

7 අහෝ ස්වාමීනි! ධර්මිෂ්ඨකම ඇත්තේ ඔබට ය; එහෙත්, අප හැමට ඇත්තේ, මුහුණ පෙන්නන්නට බැරි තරම් ලජ්ජාව ය. ඒ ලජ්ජාවට පත් වී සිටින්නේ, ජුදාවේ ජනයා හා ජෙරුසලමේ පුරවැසියන් වන අපි හැම ය; ඔබට විරුද්ධ ව ද්‍රෝහිකම් කළ නිසා ඔබ විසින් පන්නා දමනු ලැබ, අහලපහල හා දුරබැහැර සියලු රටවල සිටින සකල ඉශ්රායෙල්වරුන් වන අපි හැම ය.

8 සමිඳාණන් වහන්ස, අප ඔබට විරුද්ධ ව පව් කර ඇති නිසා, අපට එනම්, අපේ රජවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පියවරුන්ටත්, ඇත්තේ, මුහුණ පෙන්වන්නට බැරි ලජ්ජාව ය. 9 උන් වහන්සේට විරුද්ධ ව අප කැරලි ගසා ඇති නමුත්, අපේ දෙවි ස්වාමීන් වහන්සේ දයාන්විත ය, ක්ෂමාගුණයෙන් යුක්ත ය. 10 අපේ සමිඳාණන් වහන්සේට අපි කීකරු නොවීමු. උන් වහන්සේ සිය දිවැසිවරුන් ලවා අප ඉදිරියේ තැබූ උන් වහන්සේගේ උපදෙස් අනුව අපි නොහැසිරුණෙමු.

 සුවිශේෂය/ ලූක් 6:36-38

36 ඔබේ පියාණන් වහන්සේ දයානුකම්පා ඇති ව සිටින්නාක් මෙ‍න් ම ඔබ ද දයානුකම්පා ඇති ව සිටින්න.''                                                             37 ''අනුන් විනිශ්චය නොකරන්න; එවිට ඔබත් විනිශ්චය කරනු නොලැබේ. අනුන් වරදට පත් නොකරන්න; එවිට ඔබත් වරදට පත් කරනු නොලැබේ; සමාව දෙන්න; එවිට ඔබට ද සමාව දෙනු ලැබේ.                                                                                                                                38 අනුන්ට දෙන්න, එවිට ඔබටත් දෙනු ලැබේ. ඔව්හු නියම මිම්ම පිරී ඉතිරී යන තරමට එය සොලව සොලවා, තළ තළා ඔබගේ ඔඩොක්කුවට මැන දමන්නහු ය. ඔබ යම් මිම්මකින් මැන දෙන්නහු ද, ඒ මිම්මෙ‍න් ම ඔබටත් ආපසු මැන දෙනු ලැබේ ය''යි වදාළ සේක.

--

Sunday

Ada Supuwatha අද සුපුවත 01.03.2015

 මම ,සමිදුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි

 

පළමු කියවීම/ උත්පත්ති 22:1-2,9-13,15-18

1 ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, ''ආබ්‍රහම්'' කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, ''ස්වාමීනි මම මෙහි ය'' කියා උත්තර දුනි. 2 එවිට උන් වහන්සේ ''නුඹ දැන්, නුඹේ පුත්‍රයා-නුඹ ප්‍රේම කරන නුඹේ එක ම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න, එහි ගොස්, මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නැ''යි වදාළ සේක.

9 මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට, ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදි කර, පිළිවෙළට දර කෑලි තබා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය පිට තැනූ දර සෑය මත තැබී ය. 10 මෙසේ තබා ඔහු අත දිගු කොට, සිය පුතු මරනු පිණිස පිහිය ගත්තේ ය. 11 එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට, ''ආබ්‍රහම්, ආබ්‍රහම්'' කියා හඬගැසී ය. ''මම මෙහි සිටිමි''යි ඔහු කී ය. 12 එවිට දූතයා, ''ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය''යි පැවසී ය. 13 එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටී ය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන, සිය පුත්‍රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේ ය.

15 සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට කතා කොට, 16 ''සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින් 17 මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය. 18 ඔබ මාගේ හඬට කීකරු වූ බැවින්, මිහි පිට සියලු ජාතීහු ඔබ මඟින් ආසිරි ලබන්නෝ ය''යි කී ය.


දෙවන කියවීම/රෝම 8:31-34

31 කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද? 32 උන් වහන්සේ තමන්ගේ ම පුත්‍රයාණන් වුව ද ඉතිරි කර නොගෙන, අප හැම උදෙසා පරිත්‍යාග කළ සේක. එසේ නම්, ඒ දීමනාව සමඟ උන් වහන්සේ අන් හැම දෙයක් ම අපට නොමසුරු ව නොදෙන සේක් ද? 33 දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ අය වරදට පත් කරන්නේ කවරෙක් ද? ඔවුන් නිවැරදි බව ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේ ය. 34 එසේ නම් ඔවුන් වැරදිකරුවන් බවට තීන්දු කරන්නේ කවරෙක් ද? අප උදෙසා මැරුණේත්, අප උදෙසා මරණයෙන් උත්ථාන වූයේත් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය. දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩසිටිමින් අප වෙනුවෙන් මැදහත් වන්නේත් උන් වහන්සේ ය.

සුවිශේෂය /මාක් 9:2-10

2 සදවසකට පසු ජේසුස් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජොහන් ද වෙන් කොට ගෙන, ඔවුන් තමන් සමඟ උස් කන්දකට ගෙන ගිය සේක. උන් වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන් වෙසක් වූ සේක. 3 මිහි පිට කිසිවෙකුටවත් සෝදා සුදු කළ නොහැකි තරම් ධවල දීප්තියකින් උන් වහන්සේගේ වස්ත්‍ර බැබළිණි. 4 එවිට එලියා ද මෝසෙස් ද ඔවුන්ට දර්ශනය වූ හ. ඔව්හු ජේසුස් වහන්සේ සමඟ කතා කරමින් සිටියහ. 5 එවිට පේදුරු ජේසුස් වහන්සේට කතා කොට, ''ගුරුදේවයෙනි, අපට මෙහි සිටින්න ලැබීම මහත් වාසනාවකි. අපි මණ්ඩප තුනක්, එකක් ඔබටත්, එකක් මෝසෙස්ටත්, එකක් එලියාටත් සාදමු''යි කී ය. 6 ඔවුන් මහා භීතියකින් ඇලළී ගියෙන්, කුමක් කියන්න දැ යි ඔහු නොදැන සිටියේ ය.

 7 තවද වලාකුළක් නැඟී ඔවුන් සිසාරා පැතිරිණි. එවිට, ''මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මොහුට සවන් දෙන්නැ''යි වලාකුළෙන් හඬක් නික්මිණි. 8 හදිසියෙන් අවට බැලූ විට, ඔව්හු තමන් සමඟ ජේසුස් වහන්සේ හැර අන් කිසිවෙකු නුදුටුවෝ ය. 


9 ඔවුන් කන්දෙන් බසින කල, මනුෂ්‍ය-පුත්‍රයාණන් මළවුන්ගෙන් උත්ථාන වන තුරු තමන් දුටු දේ කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔවුන්ට අණ කළ සේක. 10 එබැවින් ඔවුන් මේ නියමය තදින් සිතට ගත් නමුත්, ඔව්හු, ''මළවුන්ගෙන් උත්ථාන වීම යනු කුමක් දැ''යි ඔවුනොවුන් අතර විමසමින් සිටියහ. 

--

Friday

අද සුපුවත 27.02.2015

Ada Supuwatha අද සුපුවත 27.02.2015

සමිදුනි ඔබ අපගේ යුතුකම් ගණන් ගන්නා සේක් නම් කාට ගැලවිය හැකිද

පළමු කියවීම/ එසකියෙල් 18:21-28

21 ''එහෙත් දුෂ්ටයා තමා කළ සියලු පාපවලින් හැරී, මාගේ සියලු පණත් පවත්වමින් නීති ගරුක ව ද අවංක ව ද සිටියොත්, ඔහු සැබැවින් ම නොනැසී ජීවත් වන්නේ ය. 22 ඔහු කළ ඔහුගේ සියලු වරද ඔහුට විරුද්ධ ව සිහි නොකරනු ලැබේ. ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨකම නිසා ඔහු ජීවත්වන්නේ ය. 23 දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වීම මිස ඔහු නැසී යාම කිසි ලෙසකින් වත් මට සතුටක් වනු ඇද්දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අසන සේක. 
24 ''එහෙත්, ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම් කොට, දුෂ්ටයා කරන සියලු ම පිළිකුල් ක්‍රියා කළොත්, ඔහු ජීවත් වේ ද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහි කරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම් නිසාත්, ඔහු කළ ඔහුගේ පාප නිසාත් ඔහු නසින්නේ ය. 

25 ''එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ ය''යි නුඹලා කියන්නහු ය. අහෝ ඉශ්රායෙල්වරුනි! අසන්න. මාගේ ක්‍රියා සාධාරණ නොවේ ද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේ ද? 26 ධර්මිෂ්ඨයෙකු තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම් කරමින් සිට නසින කල ඔහු නසින්නේ, තමා කළ තමාගේ අධර්මිෂ්ඨකම් නිසා ය. 27 යළිත්, දුෂ්ටයා තමා කළ දුෂ්ටකමෙන් හැරී, නීති ගරුක ව ද අවංක ව ද සිටින කල ඔහු තමාගේ ජීවිතය රැකගන්නේ ය. 28 ඔහු වරද තේරුම්ගෙන තමාගේ සියලු ම වැරදිවලින් හැරෙන නිසා, ඔහු නොනැසී ජීවත් වන්නේ ම ය. 

සුවිශේෂය/ මතෙව් 5:20-26

20 මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.''

21 '' 'මිනී නොමරන්න; මිනී මරන කවරෙකු වුව ද විනිශ්චයට යටත් වනු ඇතැ'යි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. 22 එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟb කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට 'මො‍්ඩයා' කියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; 'ජඩයා' කියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත. 23 එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරක් ගෙනෙන කල, ඔබේ සහෝදරයා ඔබට විරුද්ධ ව යම් කිසි අමනාපයක් ඇති ව සිටින බව එහි දී සිහි වී නම්, 24 පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට සහෝදරයා හා සමගි වී, පසුව අවුත් පඬුර පුදන්න. 
25 ''
ඔබේ විරුද්ධකාරයා සමඟ උසාවියට යන කල, මඟ දී ම ඉක්මනින් ඔහු හා සමගි වන්න; නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට භාර දෙන්නේ ය; නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියාට භාර දෙන්නේ ය; ඔබ ද හිරගෙයි දමනු ලබන්නෙහි ය. 26 සැබැවින් ම මම ඔබට කියමි, අන්තිම සතයට ම දඩය ගෙවන තෙක් ඔබ කිසි සේත් එයින් පිට වී නොයන්නෙහි ය.''


--

Thursday

Sinhala bible readings 26.02.2015 අද සුපුවත

මා ඔබ යැදු කල ඔබ වහන්සේ මට පිළිතුරු දුන් සේක

පළමු කියවීම/ එස්තර් 4:17

මරණ භීතියෙන් වෙළුණු එස්තර් බිසව ද සමිඳාණන් වහන්සේගේ පිළිසරණ සොයන්නට වූවා ය. ඇය තම මාහැඟි ඇඳුම් ඉවත ලා ශෝකය අඟවන ඇඳුම් හැඳගත්තී ය. සිය හිසෙහි ගැල්වූ අනර්ඝ සුවඳ පැන් වෙනුවට අළු හා සත්ත්ව මල තවරා ගත්තී ය. ඇය සිය ශරීරයට හිංසා කරගනිමින් මීට පෙර තම ශරීරය අලංකාර කරගත් තැන්වල ඇගේ කේශ කලාපයෙන් උදුරන ලද කෙස් රොදවල් විසි කරන ලදී. ඇය ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට බැගෑපත් ව යාච්ඤා කරමින් මෙසේ කීවා ය:
මා සමිඳුනි, අප රජිඳුනි, ඔබ එක ම තැනැන් වහන්සේ ය.
මා සහයට වැඩිය මැනව.
මම තනි වී සිටිමි.
ඔබ හැර අන් උදව්කරුවකු මට නැත.
මාගේ දිවියට අනතුර මා අත ළඟයි.
සමිඳුන් වන ඔබ සියලු ජාතීන් අතරෙන් ඉශ්රායෙල්වරුන් ද පැරණි ජනයා අතරෙන් අපේ පියවරුන් ද ඔබේ සදා උරුමය වන පිණිස තෝරාගත් බව මම බාල වියෙහි දී මාගේ පවුලේ තුරුල්ලෙහි දී ම ඉගෙනගතිමි.
ඔබ පොරොන්දු වූ පරිදි ඔබ ඔවුන් සැලකුවෙහි ය.
සමිඳුනි, අපේ විපත් දවසේ දී අප සිහි කළ මැනව. 
ඔබගේ වැඩසිටීම ද අනාවරණය කළ මැනව. 
දේවාතිදෙවියනි, සව් බලැති සමිඳුනි, මා දිරිගැන්වුව මැනව. 

 

සුවිශේෂය/ මතෙව් 7:7-12

7 ''ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ. 8 මන්ද, ඉල්ලන්නාට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට දොර අරිනු ලැබේ. 9 ඔබ අතරෙන් කවර මනුෂ්‍යයෙක් හෝ තමාගේ පුත්‍රයා පාන් ගෙඩියක් ඉල්ලුවොත් ඔහුට ගල් ගෙඩියක් දෙයි ද? 10 මාළුවෙකු ඉල්ලුවොත්, සර්පයෙකු දෙයි ද? 11 මෙසේ අයහපත් ඔබ, ඔබේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නහු නම්, ස්වර්ගයෙහි සිටින, ඔබේ පියාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ ඊටත් වැඩියෙන් නොදෙන සේක් ද?''

12 ''අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න. ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ හරය එය වේ.''

Sudathum Gamana 26.02.2015

Sudathum Gamana 26.02.2015